අ.පො.ස (සා/පෙ) සමත්වීමේ ප්‍රතිශතය ඉහළයි

අ.පො.ස (සා/පෙ) සමත්වීමේ ප්‍රතිශතය ඉහළයි

March 28, 2017   03:04 pm



මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත්වීමේ ප්‍රතිශතය සෙසු වසර සමඟ සැසැඳීමේ දී ඉහළ මට්ටමක පවතින බව අධ්‍යාපන අමාත්‍ය  අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ගණිතය වැනි විෂයයන් සමත්වීමේ ප්‍රතිශතයද මෙවර ඉහළ මට්ටමක පවතින බවට විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් තමන්ට දැනුම් දී ඇති බව පවසන අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙම තත්ත්වය මෙරට අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනය පිළිබඳ සුභදායී පෙර නිමිත්තක් බවද අමාත්‍යවරයා පවසයි.

මෙවර සාමාන්‍ය  පෙළ විභාගයේ ප්‍රතිඵල පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින්  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව කියා සිටියේය.

ඉදිරියේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් ලබාදීමේ වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස මේ වසරේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පවසයි.

එය 2019 වසරේ සිට සමස්ත  පාසල් අධ්‍යාපන පද්ධතියම ආවරණය කරමින් දියත් කිරීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට අමතරව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හදාරණ සිසුන් එක් ලක්ෂ 75,000ක් වෙනුවෙන් ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහනේ මුල්ම ප්‍රතිලාභීන් වන්නේ අද(28) දින සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබූ සිසුන් බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේය.