ආයෝජන කඩා වැටීමෙන් ආර්ථිකය අස්ථාවර වෙලා

ආයෝජන කඩා වැටීමෙන් ආර්ථිකය අස්ථාවර වෙලා

March 27, 2017   04:08 pm

අද වන විට මෙරටින් ඩොලර් මිලියන 2000 ක ආයෝජන ඉවත් කර ගනිමින් සිටින බවත් එවන් පසුබිමක් තුළ ආර්ථිකය අස්ථාවර වී ඇති බව ද ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

අද (27) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මහාචාර්යවරයා මේ බව කියා සිටියේ ය. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 1500 ක් ලබා ගනිමින් රට සංවර්ධනය කිරීම තුළින් මධ්‍යම පන්තික ආර්ථිකය ඉහළ නැංවීමට  රජය බලාපොරොත්තු වන බව පවසා සිටි නමුත් පවතින තත්ත්වය තුළ එය අසීරු වී ඇති බව ද තිස්ස විතාරණ මහතා පැවසීය.

2014 වසරේ පිටරට ආයෝජන ඩොලර් මිලියන 1070 වු නමුත් එය 2015 වන විට ඩොලර් මිලියන 970 දක්වා පහළ වැටී ඇති බව ද පැවසූ මහාචාර්යවරයා කියා සිටියේ 2016 වන විට ඩොලර් මිලියන 445 ක් දක්වා තව දුරටත් පහළ බැස ඇති බවයි.

එනිසා රට ආර්ථික වශයෙන් දියුණු කිරීමට නම් කාර්මික අංශයේ දියුණුවක් ඇති කළ යුතු බවත් ඒ තුළින් දේශීය භාණ්ඩ වෙළඳ පොළ තුළට යොමු කිරීමෙන් මෙම තත්ත්වය මඟහැරිය හැකි බවත් මහාචාර්යවරයා වැඩි දුරටත් පැවසීය.