සම්බන්ධන්ට එරෙහිව සුරේෂ් නැඟිටියි

සම්බන්ධන්ට එරෙහිව සුරේෂ් නැඟිටියි

March 27, 2017   08:51 am


දෙමළ ජාතික සන්ධාන නායකත්වයෙන් ආර්. සම්බන්ධන් මහතා ඉවත් විය යුතු බව ඊ.පි.ආර්.එල්.එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසා තිබේ.

ආර්. සම්බන්ධන් මහතා දෙමළ ජනතාවගේ ගැටළුවට විසඳුම් ලබාදීමට මේ වන තෙක් කටයුතු නොකළ බව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසා ඇත.

දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුම් නොදී වත්මන් ආණ්ඩුවට පක්ෂග්‍රාහිව කටයුතු කරන බවට ද ඔහු  පවසා තිබේ.

යාපනය ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඊ.පි.ආර්.එල්.එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා මෙම අදහස් පල කර ඇති බව වාර්තා වේ.

 ඊ.පි.ආර්.එල්.එෆ්, ප්ලොට් සහ ටෙලෝ යන සංවිධාන එකතුවෙන් දෙමළ ජාතික සන්ධානය නිර්මාණය වී ඇති අතර එහි නායකයා ලෙස දැනට දීර්ඝ කාලයක සිට විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා කටයුතු කරයි.

පසුගිය කාලය තුළ ද ටී.එන්.ඒ නායකත්වය සම්බන්ධයෙන් විවිධ මත පළ වූ අතර පසුව ඒවා සමථයකට පත් කර ගැනීමට පක්ෂ නායකයින් මෙන්ම සාමාජිකයින් ද පියවර ගනු ලැබිණි.

කෙසේ වෙතත් ආර්. සම්බන්ධන් මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතු බවට සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ටෙලෝ සංවිධානය හෝ ප්ලොට් සංවිධානය මේ වන තෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත.