ඉස්සර විතරක් නෙවෙයි අදත් හොරු ඉන්නවා

ඉස්සර විතරක් නෙවෙයි අදත් හොරු ඉන්නවා

March 24, 2017   02:06 pm


පසුගියකාලයේ මෙන්ම අදත් රටට විනකටින පුද්ගලයින් සිටින බැවින් ඔවුන්ගෙන් රට ආරක්ෂා කරගත යුතු බව  වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (24) පෙරවරුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක නිලධාරීන්ගේ විසිර යෑමේ උත්සවයට එක්වෙමිනි.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

“වරාය සුරකිනවා, වරාය ආරක්ෂා කරනවා කියන සමහර වෘත්තීය සමිති නායකයෝ තරම් හොරු මේ වරායේ තවත් නැති තරම්. ඒ වගේම වරාය ඇතුළට එන පිරිසිදු මනුස්සයා මාසයක් ඇතුළත වරායෙන් එළියට යන්නේ දූෂිත පුද්ගලයෙක් බවට පත්වෙලා යැයි කියන මතයක් පසුගියකාලයේ තිබුණා. නමුත් මේ සියල්ලම වෙනස් කරන්න අද අපේ කළමනාකාරිත්වයට හැකි වී තිබෙනවා. අද වන විට වරාය ගැන තිබූ වැරදි චිත්‍ර‍ය නිවැරදි තත්ත්වයකට පත් කර තිබෙනවා. මම කියන්නේ නැහැ අපි සියයට සීයක් සාර්ථක වුණා කියලා. නමුන් අපි මේ වනවිට වරායේ හොරකම් බොහෝමයක් නතර කරලා තියෙනවා. මගේ ජීවිතේ ලබපු විශේෂ ජයග්‍ර‍හණයක් ඒක.

ඇත්තටම වරායේ පමණක් නෙවෙයි රටේ වුණත්, ආණ්ඩුවක වුණත් එවැනි වෙනසක් කරන්න නම් මූලිකවම හොරකම නවත්වන්න අවශ්‍යයයි.  මම කියන්නේ නැහැ ඉස්සර පමණයි හොරු හිටියේ කියලා. අදත් හොරු ඉන්නවා. එදා හිටපු හොරු අදත් ඉන්නවා. අපි ඒ අයට විරුද්ධව කෙලින් හිටගන්න ක්‍ර‍මවේදයක් ඇති කළ යුතුයි. නැත්නම් කවදාවත් අපිට මේ රට හදාගන්න වෙන්නේ නැහැ. අපි දරුවන්ට ඉතිරි කරලා යන්නේ හොරකමින් පිරුණු රටක්ද කියන එක ගැන අපි කල්පනා කළ යුතුයි.

 අද වනවිට මේ වරාය රැකගැනීමේ දැවැන්ත ව්‍යාපාරයක් අපිට කරන්න සිදුවෙලා තියෙනවා. වරාය ආරක්ෂා කරන්න සිදුවෙලා තියෙන්නේ වරාය අමාත්‍යාංශයේ අයට පමණක් නෙවෙයි. මේ රටේ හැමදෙනාටම අද වරාය ආරක්ෂා කරගන්න සිදුවෙලා තියෙනවා. වරාය රැකගැනීමට වරාය අධිකාරිය, අමාත්‍යාංශය හැටියට අපේම ශ්‍රී ලාංකිකකයන් සමඟ ගහ මරාගන්න ඕනද කියලත් සමහර වෙලාවට අපි කල්පනා කරනවා...“