ශ්‍රී ලාංකාභිමාන්‍ය සම්මානය අමරදේවයන් හිමිකරගනියි

ශ්‍රී ලාංකාභිමාන්‍ය සම්මානය අමරදේවයන් හිමිකරගනියි

March 21, 2017   07:50 am



2017 ජාතික සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(21) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පවත්වනු ලැබුවේය.

 වසර 12කට පසුව පැවති මෙම ජාතික සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක නිරත වු ශ්‍රී  ලාංකික පුරවැසියන් 89 දෙනෙකුට ජනාධිපතිවරයා විසින් සම්මාන ලබාදී තිබේ.

 මෙහිදී ශ්‍රී ලාංකිකයෙකුට හිමිකර ගත හැකි ඉහළම සම්මානය වන ශ්‍රී ලාංකාභිමාන්‍ය සම්මානය අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්.ඩි.අමරදේව සූරීන් වෙත පිරිනමනු ලැබීය.

ශ්‍රී ලාංකික සහ පොදුවේ මානව වර්ගයා උදෙසා සිදුකරන ලද විශිෂ්ට සේවය වෙනුවෙන් ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින් දෙදෙනෙකු සදහා ප්‍රදානය කෙරෙන ශ්‍රී ලංකා රංජන සම්මාන දෙකක් ද මෙහිදි පිරිනමා තිබේ.

ආචාර්ය සරත් ඩි. ගුණපාල මහතාට සහ සිද්ධාර්ථ කාවුල් යන මහත්වරුන් වෙත එම සම්මාන පිරිනැමුණු බව ජනාධිපති මාධ්‍ය  අංශය සඳහන් කළේය.

 මෙම සම්මාන උළෙලේ දී දේශමාන්‍ය සම්මාන 10, දේශබන්දු සම්මාන 9ක්, විද්‍යාජෝති සම්මාන 11ක් පිරිනමා තිබේ.

 ඊට අමතරව කලාකීර්ති සම්මාන 22ක්, ශ්‍රී ලංකා ශිඛාමනි සම්මාන 7ක්, විද්‍යා නිධි සම්මාන 10ක්, කලාශූරි සම්මාන 13ක්,ශ්‍රී ලංකා තිලක සම්මාන 2ක් සහ වීර ප්‍රතාප සම්මාන 2ක් මෙහිදි ජනාධිපතිවරයා විසින් පිරිනැමු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.