2020 දී මත්ස්‍ය අපනයන ආදායම ඉහළ නංවනවා

2020 දී මත්ස්‍ය අපනයන ආදායම ඉහළ නංවනවා

March 20, 2017   02:27 pm

2020 වන විට මත්ස්‍ය අපනයන ආදායම රටේ ආර්ථිකයේ තුන්වන ස්ථානයට ගෙන ඒම තම අමාත්‍යාංශයේ බලාපොරොත්තුව බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

ශ්‍රී ලංකා - නොර්වේ ධීවර හා ජලජීවී සහයෝගීතා වැඩසටහන යටතේ ගිවිසුම් 3 ක් හා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමෙන් පසු මාධ්‍ය දැනුවත් කිරීමේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය. 

මත්ස්‍ය අස්වැන්න ඉහළ නැංවීමේ කර්තව්‍ය සඳහා නොර්වේ රාජ්‍ය විශාල සහයක් ලබා දෙන බවත් 2018 වසරේ මුල් කාලයේ දී නොර්වේ සහයෝගය ඇතිව ධීවර යාත්‍රාවක් යොදා ගනිමින් මුහුදු මත්ස්‍ය සම්පත සම්බන්ධයෙන් ගවේෂණය සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් පැවසීය. 

ජලජීවි වගාව ව්‍යාප්ත කිරීම සඳහා නොර්වේ රාජ්‍යයෙන් හිමිවන මැදිහත් වීම තුළින් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා අවශ්‍ය අදහස් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා සියලූම දේශපාලන නියෝජිතයන් සමඟ පුළුල් ලෙස ඉදිරියේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද මහින්ද අමරවීර මහතා මෙහිදී කියා සිටියේ ය. 

ධීවර කර්මාන්තය අතින් ඉහළම තාක්ෂණික දැනුමක් සහිත රටක් ලෙස නොර්වේ ඉදිරියෙන් සිටීම නිසා ඔවුන්ගෙන් ලැබෙන මූල්‍ය හා තාක්ෂණික උපකාර තුළින් මෙම වසර අවසන් වීමට පෙර මෙම ජාතික ප්‍රතිපත්තිය සාර්ථක කර ගැනීම තම බලාපොරොත්තුව බව අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.