තොරතුරු ලබා නොදීම ගැන පැමිණිලි රැසක් ඉදිරිපත් වෙනවා

තොරතුරු ලබා නොදීම ගැන පැමිණිලි රැසක් ඉදිරිපත් වෙනවා

March 20, 2017   08:14 am



රාජ්‍ය නිලධාරින් තොරතුරු ලබා නොදීම පිළිබඳව පැමිණිලි රැසක් ඉදිරිපත්ව ඇති බව තොරතුරු කොමිසම පවසයි.

තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක වීමත් සමඟ රාජ්‍ය ආයතනවල තොරතුරු ලබා ගැනීම සඳහා බොහෝ පිරිසක් අයදුම්පත් ඉදිරිපත් කරන බව එම කොමිසම සඳහන් කළේය.

කෙසේවෙතත් ඇතැම් නිලධාරින් තොරතුරු ලබා නොදී මඟහැරයාම් පිළිබඳව දිනෙන් දිනම ලැබෙන පැමිණිලි ඉහළ යමින් පවතින බව තොරතුරු කොමිසමේ සාමාජිකයෙකු අද දෙරණ සමඟ සඳහන් කළේය.

තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලූම් කරන ඕනෑම පාර්ශවයකට නීතිමය ගැටළු නොපවතින්නේ නම් තොරතුරු ලබාදිය යුතු බව ද ඔහු සඳහන් කළේය.

එලෙස තොරතුරු ලබා නොදෙන නිලධාරින් සම්බන්ධයෙන් අදාළ ආයතන ප්‍රධානීයා වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි අතර එම ආයතන ප්‍රධානීය තොරතුරු ලබාදීමට බැදී සිටින බව ද තොරතුරු කොමිසම පවසයි.

එහෙත් අදාළ ප්‍රධානීයාත් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප  කළ හොත් ඒ සම්බන්ධයෙන් තොරතුරු කොමිසමට පැමිණිලි කළ හැකි බව ද එම කොමිසම පවසා සිටියේය.

තොරතුරු කොමිසමට ඉදිරිපත් කරන පැමිණිල්ල මඟින් මහේස්ත්‍රාත් හෝ අභියාචනාධිකනරණය හමුවේ නඩු පැවරීමේ හැකියාව පවතින බව ද තොරතුරු කොමිසමේ සාමාජිකයා අද දෙරණ සමඳ සඳහන් කළේය.