යාල තුළ අනාරක්ෂිත සත්ව ජීවිත

යාල තුළ අනාරක්ෂිත සත්ව ජීවිත

March 1, 2017   10:28 am


මිනිසා සැමවිටම තමාට වඩා වෙනස් චර්යා රටා ඇති සතුන් නැරඹීමේ උනන්දුව මත සත්වොද්‍යාන ඉදි කළද පසුකලෙක ලොව පුරා අභය භූමි බිහිවන්නේ වන සතුන්ගේ අනාගතය ද සුරක්ෂිත කිරීමේ පුළුල් පරමාර්ථය මතයි.

වර්ථමානයේ ශ්‍රී ලංකාව තුළ මේ අරමුණු කෙතරම් දුරට සාක්ෂාත් නොවනවාද යන්න උකුස්සා යාල ජාතික වනෝද්‍යානයට ගොස් සිදුකළ සොයා බැලීමකදී අනාවරණය විය. 

ජනාකීර්ණ මාවතකට පැමිණෙන තනි අලියෙක් රථ වාහන පෙලකට පහරදීමට උත්සහ  කරන  අවස්ථාවක් අපට දැක ගත හැකි විය.

තව අයෙක් මේ සද්ධන්තයා කෝප ගන්වා සංචාරකයින්ට ආශ්වාදයක් ලබාදී අත මිට සරු කරගැනීමට උත්සහ දරණ ආකාරය ද උකුසු ඇසට හසුවිය. 

උද්‍යානයේ කිනම් හෝ ස්ථානයක දුර්ලභ සතකු දකින එක් මඟ පෙන්වන්නෙක් තවත් බොහෝ පිරිසකට එම පණිවිඩය ලබා දීමෙන් පසු උද්ගත වන්නේ ඝෝෂාකාරී තත්ත්වයකි. 

ඒත් සමඟම වේග සීමා, ආරක්ෂිත පියවරයන් කිසිදු මායිම් කිරීමකින් තොරව වේගයෙන් එහා මෙහා යන වාහන මඟින් යාල ජාතික වනෝද්‍යානයේ ජීවත් වන සතුන්ගේ ජීවිත රැකෙන බවට කිසිදු සාක්ෂියක් නම් උකුස්සාට දක්නට නොලැබිණි.

කෙසේ වෙතත් දෛනිකව යාල ජාතික වනෝද්‍යානයට සංචාරකයින් රැගෙන පැමිණෙන සෆාරි රථ 600 ක් පමණ උද්‍යානය තුළ හැසිරෙන ආකාරය අපට දක්නට ලැබිණි. 

මෙහිදී බොහෝ පිරිස නිවැරදිව මේ වෘත්තියෙන් යැපුනද ඇතැමෙකුගේ ක්‍රියා කළාපය වන සතුන්ට මෙන්ම සංවේදී පරිසර කලාපයද කෙලෙසා දමන බව සෆාරි රථ රියදුන් පවා පිළිගන්නා සත්‍යයක් බවට පත්ව තිබේ. 

ඔවුන් පවසන්නේ මෑතක මෙම වෘත්තියට එක්වූ රියදුරන් නිසි පුහුණුවකින් තොරව මේ කටයුතු සදහා එක්ව සිටීම මේ ගැටළුවට මුලික හේතුව බවයි.

වගකිව යුත්තන් නිසි පියවර ගැනීමට කල් ගැනීම තුළ යාල ජාතික වනෝද්‍යානයේ සහ එහි ජිවත් වන සතා සීපාවාගේ හෙට දවසට කුමක් වේද යන්න මේ වන විට අවදානය යොමු විය යුතු ප්‍රධාන කරුණක් බවට පත්ව තිබේ. 

පාර්ශ්වයක් මුදල් ඉපැයීම පමණක් එකම අරමුණ කර ගනිමින් සිටිය දී නීති ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන ආයතන මුනිවත රැකීම තුළ අයාලේ යන යාල වනෝද්‍යානය නිසි මඟට පත් වන තෙක් උකුස්සා අවදියෙන් සිටිනු ඇත.