මත්ද්‍රව්‍ය නිවාරණට  සීෂෙල්ස් වලින් සහය

මත්ද්‍රව්‍ය නිවාරණට සීෂෙල්ස් වලින් සහය

February 28, 2017   08:02 am



 ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළට සිය රටේ උපරිමය සහය ලබාදෙන බව සීෂෙල්ස් ජනාධිපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහතික වී තිබේ.

මෙරට සංචාරයක නිරත සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆවුරේ මහතා ඊයේ(27) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

ජනාධිපති නිල නිවස වෙත පැමිණි සීෂෙල්ස් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉතා සුහදශීලි අන්දමින් පිළිගැණුනු අතර ඔවුන් දෙදෙනා සුහද පිළිසදරක ද නිරත වු බව ජනාධිපති මාධ්‍ය  අංශය සඳහන් කළේය.

 ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙන වැඩපිළිවෙල අගය කළ සීෂෙල්ස් ජනාධිපතිවරයා බුද්ධි සේවා තොරතුරු හුවමාරු කරගැනීම ආදී ක්ෂේත්‍ර ඔස්සේ ඒ සඳහා ලබාදිය හැකි සෑම සහයක්ම ශ්‍රී ලංකාවට ලබාදෙන බවට එකගතාව පළ කර තිබේ.

ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් රජ්‍ය අතර සංචාරක, ධීවර, කෘෂිකර්ම යන සියලු ක්ෂේත්‍රවල සහයෝගය ඉහළ නංවා ගැනීම පිළිබද මෙහිදි රාජ්‍ය නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්වේ.

ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය සිය රටේ ඉමහත් ඇගයීමට ලක්ව ඇති බව සඳහන් කළ සීෂෙල්ස් ජනාධිපතිවරයා තම රටේ නීති සම්පාදන කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් ලබාගැනීමට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට බව ද කියා සිටියේය.

සීෂෙල්ස් ජාතිකයින් තම වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශාල වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රයට තම රට තුළ හිමිව ඇත්තේ මහත් ප්‍රසාදයක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

දෙරට අතර තානාපති සබදතා වලට තෙවසරක් පිරීම නිමිත්තෙන් ලබන වසරේ පැවැත්වෙන විශේෂ සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වන ලෙස ද සීෂෙල්ස් ජනාධිපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ආරාධනා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.