ග්‍රාමීය  ආර්ථිකය සීග්‍රයෙන් පිරිහෙනවා

ග්‍රාමීය ආර්ථිකය සීග්‍රයෙන් පිරිහෙනවා

February 27, 2017   09:27 pm



ග්‍රාමීය  ආර්ථිකය සීග්‍රයෙන් පිරිහෙමින් පවතින බව අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම තත්ත්වය මගහැරවිම සඳහා වැඩපිළිවෙළ රැසක් සැලසුම් කර ඇති බවය.

ග්‍රාමිය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යංශය නව ස්ථානයක ස්ථාපිත කිරීම වෙනුවෙන් අද(27) පැවැති උත්සවයකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ  කළේය.

එහිදී  අගමැතිතුමා මහතා මෙසේ ද කියා සිටියේය,

ගමෙන් පැමිණි පී. හැරිසන් ඇමතිතුමාට ගමේ ආර්ථිකය දියුණු කිරීමේ වගකීම මා විසින් ලබාදී තිබෙනවා. ගමේ ආර්ථිකයට වඩා ජනතාව නාගරික හෝ අර්ධ නාගරික ආර්ථිකයට ඇදී යනවා. නැතිනම් මැද පෙරදිග ආර්ථිකයට ගමන් කරනවා. නැතිනම් ඉතාලි ආර්ථිකයට යනවා. මලයාසියාව, සිංගප්පුරුව, කොරියාව ආදී ආර්ථිකවලට ගමන් කරනවා. එහි පාඩුව දැනෙන්නේ ගමේ ආර්ථිකයටයි.

අප ගමේ නවීකරණයක් ඇති කරන්නේ කෙසේද? ඒ සඳහා ගම පිළිබදව දැනුමක් ඇති හොද කතිකත්වයක් තිබෙන උපාධිධාරියෙකු වන හැරිසන් ඇමතිතුමාට මේ වගකීම බාරදී අප වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙනවා.

මේ ගොඩනැගිල්ලට ගෙවැදීමට පෙර සිංහල නක්‍ෂත්‍රය ගැන බලන්නැයි මා හැරිසන් ඇමතිතුමාට උපදෙස් දුන්නා. සෑම කොටසක් දෙසම බලන්න. උතුර, දකුණ ඔක්කොම බලන්න. පත්තිණි දෙවියන්ගෙන් මෙන්ම හැම දෙවියෙකුගෙන්ම ආශිර්වාදය ගන්න. දෙමළ ක්‍රමවේදය දෙසත් බලන්න. වාස්තු විද්‍යාව ගැනත් බලන්න. මලයාසියාව, ඉන්දුනිසියාව,වියට්නාමය , චීනය, ජපානය යන රටවල ක්‍රම ගැනත් බලන්න. එසේ බලා ඉතා හොද තැනක් අමාත්‍යාංශයට වෙන් කර ගන්න. මින්පසු නැවත හාල් ගැන අර්බුදයක් ඇති නොවන පරිදි ගොඩනැගිල්ල තෝරා ගන්නැයි මා උපදෙස් දුන්නා.

ගමේ ආර්ථිකය දියුණු කරන විට පශු සම්පත් ක්ෂේත්‍රය ඉතා වැදගත් වන බව කිව යුතුයි. බොහෝ විට ගවයන් සිටියත් අපට අවශ්‍ය වැඩකටයුතු සිදුවන්නේ නැහැ. එමනිසා හොද ගවයන් ලබාදීමට ගව පට්ටි පවත්වාගෙන යාම සඳහා උපකාර කිරීමට කිරි නිෂ්පාදනය දියුණු කිරීමට කටයුතු කළ යුතුව තිබෙනවා. ගමේ කිරි නිෂ්පාදනය දියුණු කරනවා නම් ගම තුළම අලෙවියක් ලබා දීමට කටයුතු කරන්නම්. ගමේ කුඩා දරුවන් සඳහා වසර 5ක් යනතුරු කිරි ලබාදිය යුතුයි. බොහෝ විට දැන් අප දරුවන්ට දෙන්නේ පිටිකළ කිරි බව කිව යුතුයි. එම දරුවන්ට එළකිරි ලබාදිය හැකිදැයි අප කල්පනා කළා. අප එම ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ ගැමි දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම සඳහායි.

එමෙන්ම කුකුළු කර්මාන්තය අපනයන කර්මාන්තයක් බවට පත්කිරීමට අප සැලසුම් සකස් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ උසස් කුකුළු වර්ග සිටිනවා. නමුත් අපේ මිල වැඩියි. අමුද්‍රව්‍ය මිල වැඩියි. එමනිසා ලංකාවේ අමුද්‍රව්‍ය  ලබාගන්නවාද, පිටින් ගෙන්වනවාද යන්න තීරණය කළ යුතුයි. අපට එම ප්‍රශ්නවලට මුහුණදීමට තිබෙනවා. එයින් විශාල වෙළෙදපොළක් ලබාගැනීමට හැකියාව තිබෙනවා. ග්‍රාමීය ආර්ථිකයේ අංශ කිහිපයක් නවීකරණය කොට ඉදිරියට යාම අපේ අරමුණයි. ඒ සමගම ගමේ තරුණ තරුණියන්ට අලෙවිකරණ ශක්තිය  ලබාදිය යුතුයි. ඒ සඳහා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය හොද වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ වැඩසටහන සමඟ එක්ව කටයුතු කරන ලෙස සියලූ දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

අප ආර්ථිකය පිළිබදව අළුතින් සිතිය යුතුයි. රුපියල් කෝටි හාරලක්ෂ අසු දෙදහසක විදේශ ණය කන්දක් රාජපක්ෂ රජය විසින් අපට උරුම කර දී තිබෙනවා. එම ණය වසර 10ක් ඇතුළත ගෙවා දැමිය යුතුයි. දේශීය ණය ප්‍රමාණය මීට දෙගුණයකටත් වඩා වැඩියි. අපගේ ආදායම මේ ණය ගෙවීමට වැය වෙනවා. ඒ නිසා අළුත් ආදායම් මාර්ග සොයාගත යුතුයි. රැකියා අවස්ථා විදේශ ආයෝජන මෙන්ම දේශීය ආයෝජනත් අවශ්‍යයි.
ඉදිරියට ගමන් කිරීමට නම් තරඟකාරී ආර්ථිකයක් අත්‍යවශ්‍යයි. මා විටින් විට සිංගප්පූරුවට යන විට සිංගප්පරුවේ ඉගෙන ගන්න තිබන්නේ කුමක්දැයි බොහෝ අය කෑගැසුවා. අපේ හිටපු ජනාධිපතිතුමා නම් ඉගෙන ගත්තේ ස්වාසිලන්තය, උගන්ඩාව ආදි රටවල් වලිනුයි. ප්‍රශ්නයක් නැහැ. ඕන තැනකින් ඉගෙන ගන්න අයිතිය තිබෙනවා.

මෙවර ඕස්ට්‍රේලියාවේ සංචාරයට ගොස් නැවත ශ්‍රී ලංකාවට එන අතරතුර සිංගප්පූරු අගමැතිතුමා සමඟ රාත්‍රී ආහාරය ගැනීමට මට අවස්ථාව ලැබුණා. එහිදි සිංගප්පුරු විදේශ කටයුතු අමාත්‍යවරයාත් මුණ ගැසුණා. ශ්‍රීලංකාවේ හිටපු ජනාධිපතිවරයාත් සිංගප්පුරුවෙන් අද පිටවී යාමට නියමිත බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මා සමඟ පැවසුවා.  එකම ගුවන් යානයේදී ඔහු හමුවේවි යැයි මා කල්පනා කළා. එසේ හමුවුවහොත් ස්වාසිලන්ත සහ උගන්ඩා ක්‍රමය අතහැර සිංගප්පුරු ක්‍රමයට පැමිණීම ගැන ප්‍රශංසා කිරීමට මා කල්පනා කළා. අවාසනාවකට හිටපු ජනාධිපතිතුමා මා ගමන් කළ ගුවන් යානයට පැමිණියේ නැහැ. ඔහු පැමිණ තිබුණේ ඊට පසුව ගුවන්යානයේයි. පාර්ලිමේන්තුවේදී මේ ගැන අසන්නම් යැයි මා සිතා ගත්තා. අප අළුතින් සිතන්නට පුරුදු විය යුතුයි. මහින්ද රාජපක්ෂ මහතාත්, අළුතින් සිතනවා නම් හොදයි. එය රටටත් හොදයි. එක තැනක සිරවී පරණ අදහස් සමඟ ඉදිරියට යන්නට බැහැ. ඉතිං අපි අලුත් අදහස් සමඟ ඉදිරියට යමු.

අළුත් අදහස් නිසා චීනය වෙනස් වුණා. ජපානය, කොරියාව,වියට්නාමය,තායිලන්තය, මලයාසියාව, ඉන්දුනිසියාව සිංගප්පුරුව වෙනස්කම් වලට ලක්වුණා. බංගලාදේශය ටිකින් ටික වෙනස් වෙනවා. මේ හැම රටකටම වඩා මුලින්ම වෙනස් වීමට කල්පනා කලේ ශ්‍රී ලංකාවයි. නමුත් අප යුද්ධය අවසන් වූ පසුවත් එකතැන හිරවී ඉන්නේ ඇයි? ඊට හේතුව කුමක්ද? අප පළමුවෙන්ම ජාතික සමගිය ආරක්ෂා කළ යුතුයි. නිකරුනේ ගහ මරා ගැනීමෙන් පළක් වන්නේ නැහැ.

ශ්‍රී ලංකාවේ රැදී ඉන්නේ වෙනත් රටකට යෑමට හැකියාවක් තිබුණත් නොයන මෙරටට ආදරය කරන පිරිසකුයි. මෙරට දෙමළ දරුවන් ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී ලංකා යනුවෙන් දෙමළ බසින් පැවසීම කොතරම් හොද දෙයක්ද. එක මවකගේ දරුවන් වශයෙන් අර්ථ දැක්වීම කොතරම් හොද දෙයක්ද. දන්න දෙමළ භාෂාවෙන් ඔවුන්ට ජාතික ගීය ගයන්නට ඉඩ දෙනවාද. නැතිනම් කටවහගෙන ඉන්නැයි කියනවාද. දැන් අප දෙමළ දන්න අයට දෙමළ බසිනුත් සිංහල අයට සිංහල බසිනුත් ජාතික ගීය ගැයීමට අවස්ථාව ලබාදී තිබෙනවා. දැන් සියළුම ශ්‍රී ලාංකිකයන් ජාතික ධජයට ආචාර කරනවා. මේ අයුරින් ජාතික සමගිය ස්ථාපිත කොට රට දියුණුවට පත්කර ඉදිරියට යා යුතුයි.

සාම්ප්‍රදායික වැඩ පමණක් නොව අලුතින් කල්පනා කොට නව වැඩසටහන් සැකසීමේ වගකීම ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශයට පැවරී තිබෙනවා. ජාතික කෘෂිකර්ම අලෙවි අධිකාරිය මඟින් පෞද්ගලික අංශයේ අලෙවි ක්‍රමය දියුණු කර අවශ්‍ය තැන්වලදී අපේ ගොවීන්ට සහාය දැක්වීමට කටයුතු කරනවා. මේ වසර අවසන් වනවිට ඒ සඳහා වැඩසටහන් සකස් කරන්නම්.අනාගතයේදී අඩුපාඩුකම් නොමැති ආකාරයට ආහාර නිෂ්පාදනය කොට අපනයනය කිරීමට හැකි තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කරයි.