දූෂණ විරෝධී පෙරමුණෙන් මහ බැංකු අධිපතිට ලිපියක්

දූෂණ විරෝධී පෙරමුණෙන් මහ බැංකු අධිපතිට ලිපියක්

February 26, 2017   11:10 am



මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මූලික වූ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නියොජ්‍ය අධිපති පී. සමරසිරි මහතා සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණ අද(26) දිනයේ  ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා වෙත ලිපියක් යොමු කළේය.

එම ලිපිය පහතින් දැක්වෙයි,

මාධ්‍ය ඒකකය
දූෂණ විරෝධී පෙරමුණ

2017 පෙබරවාරි මස 26 වැනිදා

අධිපතිතුමා,
ශ්‍රී ලංකා මහ බැංකුව,
කොළඹ 1.

මහත්මාණෙනි,

දුෂණ චෝදනා එල්ල වු විවාදිත ගැසට් පත්‍රය මුද්‍රණයට යොමු කළ පී.සමරසිරි මහතා ගේ වැඩ තහනම් නොකිරීම සම්බන්ධයෙනි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ අත්සන සහිතව 2015 ජනවාරි 1 දිනැති ගැසට් පත්‍රයක් ඔබගේ පාලන කාලය තුල ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ මුද්‍රණාලය මගින් නිකුත් කොට ඇති බව ඔබතුමන් දන්නා කරුණකි.

එම ගැසට් නිවේදනය සකස් කොට ඇත්තේ නියෝජ්‍ය අධිපති පී.සමරසිරි මහතා භාරව කටයුතු කරන රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසිනි.

මේ සම්බන්ධයෙන් ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනතේ 4 වන වගන්තියට අනුව පූර්ණ වගකීම දැරිය යුතුව ඇත්තේ  රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධිපති ධූරයේ කටයුතු කළ පී.සමරසිරි මහතා ය.  සාමාන්‍ය කාර්ය පටිපාටිය අනුව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධිපති, මහ බැංකුවේ අධිපතිවරයා ලෙස ඔබගේ නිර්දේශ හා අනුමැතිය නොමැතිව ශ්‍රී ලංකා මහ බැංකුවට මෙවැනි ගැසට් පත්‍රයක් නිකුත් කල නොහැකිය.  අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යාංශයේ ලේකම් මගින් ගරු මුදල් අමාත්‍යතුමාගේ අනුමැතියෙන් රජයේ මුද්‍රණාලය  වෙත ඔබගේ අත්සන යටතේම යොමු කොට ඇත්තේ අහම්බයකින් හෝ අත්වැරදීමකින් නොව සැලසුම් සහගත කුමන්ත්‍රණයකිනි.

බැදුම්කර වංචාව සිදු වූ අවස්ථාවේ දී රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ සේවය කළ දිපා සෙනෙවිරත්න (ණය අධිකාරි), ආචාර්ය ඒ.ඒ.ආසිම් (අතිරේක අධිකාරි) සහ සේපාල රත්නායක (සහකාර අධිපති) යන තිදෙනා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කටයුතු වලින් මාරු කර යවනු ලැබීය.  කෙසේ නමුත්, දේශපාලන බලය හේතුවෙන් නියෝජ්‍ය අධිපති පී.සමරසිරි මහතා ට තවදුරටත් එම තනතුරේ රැදී සිටීමට අවස්ථාව ලැබී ඇත.

එහි ප්‍රතිඑයක් ලෙස ශ්‍රී ලංකාවේ ජනරජයේ හිටපු ජනාධිපතිවරයාගේ නමින් ගැසට් පත්‍රයක් මුද්‍රණය සදහා යොමු කිරීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව භාර අධීක්ෂණ නියෝජ්‍ය අධිපතිවරයා ලෙස ඔහු සමත්වී ඇත.  බැදුම්කර වංචාව සදහා හිටපු රාජ්‍ය නායකයා ද සම්බන්ධ බවට හැගීයන අයුරින් මෙම වංචාව සැලසුම් කිරීමට ලංකා ඉතිහාසයේ දුෂිතම ගණුදෙණුව සැලසුම්කල පුද්ගලයින් ඉතා උපක්‍රමශීලි ලෙස කටයුතු කර ඇති බව ට බැලූ බැල්ලමට පෙනී යයි.

ශ්‍රී ලංකා “මුල්‍ය පනතේ 23 (2) (c) වගන්තිය යටතේ නියෝජ්‍ය අධිපතිවරුන්ගේ විනය ආවරණය වේ. එහි ප්‍රතිපාදනයන් අනුව මුල්‍ය මණ්ඩලය විසින් චෝදනා එල්ල වූ මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා වැඩ තහනමට ලක් කොට ඔහු පිළිබද විනය ක්‍රියා මාර්ග ගැනීම සිදු විය යුතුය.

තවද, ආයතන සංග්‍රහයේ XLVIII පරිච්චේදයේ 31 ජේදයේ 1:7 වගන්තිය යටතේ ද රාජ්‍ය මුදල් සාවද්‍ය ලෙස හෝ අයථා ලෙස හෝ පරිහරණය කිරීම හෝ වෙනත් අයෙකුට එසේ කිරීමට ඉඩ සැළසීම පිළිබද සාධාරණ සැකයක් සහිත පුද්ගලයෙකු වහා වැඩ තහනමට ලක් කළ යුතුව ඇත.

එසේ තිබිය දී, ලංකා ඉතිහාසයේ දැවැන්තම මුල්‍ය වංචාව සිදු වන අවස්ථාවේ අදාළ අධිකාරීත්වය දැරී රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය අධිපතිවරයා වන පී.සමරසිරි මහතා සම්බන්ධයෙන් එම සම්මත භාවිතය ක්‍රියාත්මක නොවීම පුදුමයට කරුණකි.  හිටපු රාජ්‍ය නායකයාගේ අත්සන ව්‍යාජ ලෙස යෙදීමෙන් පසුව ද ඔහු එම තනතුරේ කටයුතු කිරීම සහ ඔහුට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ දී පුද්ගලික නීතිඥ සහාය ලැබීම අදහා ගැනීමට හෝ නොහැකි තත්වයකි.

බැදුම්කර වංචාව සිදුවන අවස්ථාවේ දී රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ සියළු වගකිවයුතු නිලධාරීන් මාරු කර යවා තිබිය දී, නියෝජ්‍ය අධිපතිවරයා පමණක් එම තනතුරේම සේවය කිරීම තුල අර්බුදකාරී ගැසට් පත්‍ර මුද්‍රණය වැනි අදහාගත නොහැකි අක්‍රමිකතාවයන් ශ්‍රී ලංකා මහ බැංකුව තුල සිදුව තිබේ.

අධිපතිතුමනි, ගැසට් පත්‍රය බැදුම්කර වංචාවේ අතුරු සිදුවීමක් පමණී. නමුත්, රට හමුවේ ඇති අභියෝගය මේ දැවන්න මුල්‍ය වංචාවෙන් රටට අහිමි වූ මුදල් මේ රටේ ජනතාවගේ සුබසෙත සදහා යොදා ගැනීමයි. එයට බාධ වන බැංකුව තුල සිට ක්‍රියාත්මක ප්‍රමුඛ සාධකය නියෝජ්‍ය අධිපතිවරයා ය.

මේ සියළු කරුණු සැලකිල්ලට ගෙන නියෝජ්‍ය අධිපති පී.සමරසිරි මහතා වහා ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කොට බැදුම්කර වංචාවේ දී ඔහුගේ භුමිකාව පිළිබද අභ්‍යන්තර විමර්ශනයක් ඇරඹීම කෙරෙහි ඔබගේ කාරුණික අවධානය යොමු කරමි.

මෙයට විශ්වාසී,

කීර්ති තෙන්නකෝන්
උපදේශක/දුෂණ විරෝධී පෙරමුණ
2017 පෙබරවාරි මස 26 වැනිදා