තරුණයාගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමේ වරද රට කළ හැම ආණ්ඩුවක්ම භාර ගත යුතුයි

තරුණයාගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමේ වරද රට කළ හැම ආණ්ඩුවක්ම භාර ගත යුතුයි

February 26, 2017   10:05 am




තරුණයාගේ බලාපොරොත්තු සමඟ සෙල්ලම් කිරීමට කිසිවෙකුට හෝ අයිතියක් නොමැති බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දේශපාලනය තුළ අතරමං කරමින් තරුණයාගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමේ වරද මෙතෙක් රට පාලනය කළ සියලු ආණ්ඩු විසින් අඩු වැඩි වශයෙන් භාර ගත යුතු බවයි.

නිදහස ලැබුණු දා සිට මේ දක්වාම තරුණයා අතරමං වූ බවත්, තරුණයාගේ වටිනාකම් දේශපාලනය වෙනුවෙන් යොදා ගන්නා කාලය දැන්වත් නවතා දැමිය යුතු බවත් ඔහු අවධාරණය කර සිටී.

පාලිත රංගේබණ්ඩාර අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා ආණමඩුව ඉගිනිමිටිය වැව් තාවුල්ලේ පැවැති තරුණ කඳවුරකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

පාසල් අධ්‍යාපනය තුළදීම තාරුණ්‍ය උදා කර ගන්නා අපේ අනාගත පරපුර පිළීබඳ මීට වඩා සැලකිලිමත් විය යුතුයි. සෑම කෙනෙක්ම කුඩා කාලයේ සිට තම ජීවිතය ගැන සිහිනයක් දකිනවා. ඒ සිහිනය අති ප‍්‍රබලයි. පරිසරය යහපත් අයුරින් සකස් කර ඇත්නම් ඒ සිහිනය සැබෑවක් කර ගන්න අවස්ථාව උදා වනවා. අපි කළ යුතු වන්නේ එම සිහින තව තවත් ප‍්‍රබල කරමින් එය සැබෑවක් කර ගැනීමට අවශ්‍ය මාවත සකස් කර දීමයි. එහෙත් අප විසින් සිදු කර නොමැති කාරණයද එයයි.

වෛද්‍යවරු, ඉංජිනේරුවන් වගේම කලා කරුවන් ,මාධ්‍යවේදීන්, ව්‍යාපාරිකයින් වෙන්න සිහින දකින අය අප අතරේ ඉන්නවා. ඒ වගේම දේශපාලඥයින් වෙන්න උනන්දු වෙන අයත් ඉන්නවා. නව නිර්මාණ මගින් ලොව දිනන්න උත්සාහ කරන අයත් හදුනා ගන්න පුළුවන්. එහෙත් අපි මේ දේවල් ගැන අවදානය යොමු කර නොමැති බව පැහැදිලි කාරණයක්. අලූතින් සිතන්නැයි තරුණයාට උපදෙස් ලබා දෙන රජයන්, දේශපාලඥයින් වගේම නිලධාරීන්ද අමතක කර ඇති කාරණය එයයි. එසේනම් අපි මේ කෙරෙහි වැඩි වශයෙන් අවදානය යොමු කළ යුතුයි.

පසුගිය රජය සමයේ තරුණයා මුළුමනින්ම අතරමං වුණා. නිල් බලකා පිහිටුවමින් තාරුණ්‍යට හෙටක් සංවිධාන හදමින් වසර ගණනාවක් තිස්සේ සුබ අනාගතයක් කියමින් ඒ රැවටිලිකාර වැඩපිළීවෙල දියත් කළා. තාරුණ්‍යට උදා වූ සුබ අනාගතයක් කාටවත් පෙනෙන්න තිබුණේ නැහැ. මේ කාරණය තරුණ සමාජය විසින් තේරුම් ගත්ත නිසයි සෙලවිය නොහැකි යැයි කී ආණ්ඩුවක් පෙරලා දමන්න හැකියාව ලැබුණේ. එහෙමනම් ඒ පෙරළියට දායක වූ තරුණ පරම්පරාව රවටන්න මේ ආණ්ඩුවටත් අයිතියක් හෝ අවස්ථාවක් නැහැ. අද අපි ඉටු කරමින් සිටින්නේ තරුණයාගේ අවශ්‍යතාවයයි.