මානව හිමිකම් පිළිබඳ කවුන්සිලයේ 34 වන සැසිවාරය හෙට ඇරඹෙයි

මානව හිමිකම් පිළිබඳ කවුන්සිලයේ 34 වන සැසිවාරය හෙට ඇරඹෙයි

February 26, 2017   09:48 am


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලයේ 34 වන සැසිවාරය හෙට(27) ආරම්භ වෙයි.

එය ලබන මාර්තු මස 24 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

එමඟින් ඉදිරිපත් කෙරෙන කරුණු පිළිබඳව මෙතෙක් අනාවරණය කර නොමැති අතර ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය ඇතුළු අනෙකුත් නිර්දේශ ක්‍රියාත්මක වීම පිළිබඳ එම වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කෙරෙනු ඇති බව වාර්තා වෙයි.

මීට අමතරව සුළු ජාතීන්ගේ ගැටළු පිළිබඳ සොයා බැලීම සඳහා මෙරටට පැමිණි විශේෂ නියෝජිතවරියගේ වාර්තාවක් ද මානව හිමිකම් කවුන්සිලයට සාකච්ඡා කිරීම සඳහා ඉදිරිපත් කර තිබේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මස 10 සහ 20 අතර කාලය තුළ මෙරට සංචාරය කරමින් එම විශේෂ නියෝජිතවරිය සුළු ජාතින්ගේ ගැටළු පිළිබඳ තොරතුරු රැස් කළ අතර ඊට අදාළව කරුණු 84කින් සමන්විත වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

පසුගිය වසරේ අප්‍රේල් සහ මැයි මාසවල මෙරට සංචාරයක නිරත වු වදහිංසනය සහ අනෙකුත් කෘර අමානුෂික සැලකිළි හෝ දඞුවම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පැමිණි නියෝජිතයාගේ වාර්තාවක් ද සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කරුණු 122කින් එම වාර්තාව සමන්විත වෙයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් කාලරාමුවක් ඉදිරිපත් කළ යුතු බවට හියුමන් රයිට්වොච් සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සහය පළ කරමින් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය එරට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී විශේෂ සාකච්ඡාවක් සංවිධානය කර තිබේ.

ලබන අඟහරුවාදා පැවැත්වීමට නියමිත එම සාකච්ඡාවේ දී මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය හරහා පෙළඹවීමක් සිදුකිරීම මෙහි අරමුණයි.

ඒ සඳහා කම්කරු පක්ෂයේ නායකයා සහ ඡායා කැබිනට් සාමාජිකයින් ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් සහභාගීවීමට නියමිතය.