වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා

වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා

February 26, 2017   06:59 am




ජල සම්පාදන ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය විසින්  ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගිය පෙබරවාරි 09 වන දින සිට අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරන බව එම මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ තම වෘත්තීය ක්‍රියා මාර්ග හමුවේ පාලකයින් වගකීම් විරහිතව ක්‍රියා කරන බවයි.

පාලකයන් ගැටළු විසදීමේ දිශාවට කටයුතු කරනවා වෙනුවට විකල්ප කණ්ඩායම් යොදවා වැඩ කරවීමටත්, නීති විරෝධී සදාචාර විරෝධී විවිධ චක්‍ර ලේඛ හා ලිපි මගින් සාමාජිකයින් බිය වැද්දීමටත්, වෘත්තීය ක්‍රියා මාර්ගය කඩා කප්පල් කිරීමේ සහ මර්දනය කිරීමේ දිශාවටද කටයුතු කරමින් ඇති බවත් එම නිවේදනයේ සඳහන්ය.

පාලකයින්ගේ මෙම සදාචාර විරෝධී නීති විරෝධී ක්‍රියා කලාපයන් පරාජය කිරීමේ ශක්තිය තම සංගමයට ඇති බවත්, ඒ හේතුවෙන් වෘත්තීය ක්‍රියා මාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් ඔවුන් පවසයි.
 
ඔවුන් විසින් නිකුත් කළ නිවේදනය පහත පරිදිවෙයි,

වෘත්තීය ක්‍රියා මාර්ග සහ පාලකයින්ගේ වගකීම් විරහිත ක්‍රියා කලාපය

ජල සම්පාදන මණ්ඩලය තුළ අප ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගිය පෙබරවාරි 09 වන දින සිට අඛණ්ඩව ඉදිරියට යයි.

පාලකයන් ගැටළු විසදීමේ දිශාවට කටයුතු කරනවා වෙනුවට විකල්ප කණ්ඩායම් යොදවා වැඩ කරවීමදල නීති විරෝධී සදාචාර විරෝධී විවිධ චක්‍ර ලේඛ හා ලිපි මගින් අප සාමාජිකයින් බිය වැද්දීමටත් අපගේ වෘත්තීය ක්‍රියා මාර්ගය කඩා කප්පල් කිරීමේ සහ මර්ධනය කිරීමේ දිශාවටද කටයුතු කරමින් තිබේ.

පාලකයින්ගේ මෙම සදාචාර විරෝධී නීති විරෝධී ක්‍රියා කලාපයන් පරාජය කිරීමේ ශක්තිය අප සාමාජිකයින්ට ඇති අතර අපගේ වෘත්තීය ක්‍රියා මාර්ගය ඉදිරියට අඛණ්ඩව ගෙන යන්නෙමු.

පාලකයින්ගේ වගකිමී විරහිත ක්‍රියාකලාපය තුළ වෘත්තීය ක්‍රියා මාර්ගය දිග්ගැස්සෙන අතර විශාල ජල නාස්තියක්දල විශාල ආදායම් අහිමිවීමක්ද ආයතනයේ දෛනික කටයුතු අඩාලවීමක්ද සිදුවී ඇත. එසේම පාරිභෝගික සේවා අඩාවීමක්ද සිදුවී ඇත. නව ජලසම්බන්ධන ලබාදීම පාරිභෝගික පැමිණිලි සදහා අවශ්‍ය කටයුතු කිරීම දැන් සිදුවන්නේ නැත. එසේම විටින් විට විවිධ ප්‍රදේශවල ජල සැපයුම් අඩාවීමක්ද සිදුවේ. මේ තත්වය සම්පූර්ණයෙන්ම වසා ගනිමින් පාලකයින් බොරු කියමින් කටයුතු කරමින් සිටියි.

පාලකයින්ගේ මෙම වගකීම් විරහිත ක්‍රියා කලාපය තුළ පළ පුරුද්ද නැති අදාල නැති පුද්ගලයන් විවිධ කටයුතුවල යොදවා ඇතග ගබඩාවල නිසි පාලනයක් නැත. දෛනික ක්‍රියා පටිපාටි උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු සිදුවේ. ජල පිරිපහදු ක්‍රියාවලියේ බලවත් අඩුපාඩුකම් සිදුවේ.

දැන් අළුත්ම සිද්ධිය වී ඇත්තේ නිසි උපදේශයක් ක්‍රියා පටිපාටියක් අනුගමනය නොකරමින් ක්ෂේත්‍ර කටයුතු සදහා යෙදවූ මයියංගනයේ කම්කරුවෙකු හදිසි අනතුරකට ලක්ව මරණාසන්නව සිටීමයි.

පාලකයින් සියළු අවුල් සහගත තත්වය වසාගනිමින් බොරු මාධ්‍ය ප්‍රකාශ කරයි. වර්ජිත වෘත්තීය සමිති දෙක හැර අනෙක් සියළු සංගම් පාලකයින් සමඟ බව පවසයි. පාලකයින් සමඟ එක පෙළට සිටගෙන ඇත්තේ ජාතික සේවක සංගමයේ නායකයින් පමණි. එහිද සාමාජිකයින් වන අප සංගම් දෙකේ සාමාජිකයින් මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයට එක්ව ඇත.

මෙය ශ්‍රේණිවලට අදාල ගැටළුවක් බැවින් අදාල වෘත්තීය සමිති දෙක පමණක් වෘත්තීය ක්‍රියා මාර්ග ආරම්භ කර ඇති අතර මෙය ඒකාබද්ධ සියළු වෘත්තීය සමිති එක්වන ආකාරයේ ගැටළුවක් නොවේ. ඒ අනුව අනෙක් අය මෙම සටනට එක්වීමේ අවශ්‍යතාවයක් නැති අතර ජාතික සේවක සංගමයේ නායකයින් හැර වෙනත් කිසිවෙකු අපගේ අරගලයට විරුද්ධ නැත. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ රජයක් ඇති කාලවලට පමණක් පාලකයින් සමග එකට සිටගෙන ඕනෑම පාවාදීමක් කිරීම ජාතික සේවක සංගම් නායකයින්ගේ ලක්ෂණයකි. එහෙත් වත්මන් ජාතික සේවක සංගම් සාමාජිකයින් මේවා අනුමත නොකරයි.

පාලකයින්ගේ වගකීම් විරහිත ක්‍රියා කලාපය පිළිබදවත් මෙම වෘත්තීය ගැටළුවවිසදීමටත් අවධානය යොමුකරන ලෙස සියළු බලධාරීන්ගෙන් මෙන්ම ජනාධිපතිවරයාගෙනුත් අගමැතිවරයාගෙනුත් අප ඉල්ලා සිටිමු.

මෙයට,
ඉංජිනේරු උපාලි රත්නායක
සභාපති ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය.