වියළි කාලගුණයෙන් ලක්ෂ 9ක් පීඩාවට පත්වෙලා

වියළි කාලගුණයෙන් ලක්ෂ 9ක් පීඩාවට පත්වෙලා

February 25, 2017   01:08 pm




පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් ලක්ෂ 09ට ආසන්න පිරිසක් ආපදාවට ලක්ව සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ වියළි කාලගුණික තත්ත්වය දිස්ත්‍රික් 16ට දැඩිව බලපා ඇති බවයි.

ඒ අනුව එම දිස්ත්‍රික්ක 16  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 103ක පවුල් දෙලක්ෂ 28,906ට අයත් පුද්ගලයින් අට ලක්ෂ 99,235 දෙනෙකු ආපදාවට ලක්ව ඇති බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එමෙන්ම පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ගොවි බිම් විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් එවායේ තක්සේරු කටයුතු සිදු කරමින් සිටින බව ද එම නිවේදනයේ සඳහන්ය.

කෙසේවෙතත් විනාශයට ලක් වූ ගොවි බිම් සඳහා මාර්තු මාසයේ සිට මාස 04ක කාලයක් අඛණ්ඩව වන්දි ලබාදීමට  රජය සැලසුම් කර තිබේ.

එහිදී විනාශ වූ කුඹුරු අක්කරක් සඳහා රුපියල් 10,000 ක වන්දි මුදලක් සහ සෙසු කෘෂි බෝග වගාවන්ට ද වන්දියක් ලබාදීමටත් රජය සැලසුම් කර ඇති බව කාෂිකාර්මික හා ගොවි සංරක්ෂණ මණ්ඩලය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අදාළ ප්‍රදේශවල පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා මුදල් අමාත්‍යංශය මඟින් රුපියල් මිලියන 50ක මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේය.