රටේ ඉදිරි සංවර්ධනයට අමෙරිකාවේ සහය අපේක්ෂා කරනවා

රටේ ඉදිරි සංවර්ධනයට අමෙරිකාවේ සහය අපේක්ෂා කරනවා

February 25, 2017   12:49 pm


තම රජයේ ප්‍රතිපත්තිය සියලුම රටවල් සමඟ සහයෝගීතාව ගොඩනගා ගැනීම තුළින් ආර්ථික ප්‍රගතිය වේගවත් කර ගැනීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

දිවයිනට පැමිණ සිටින අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ අධිකරණ කටයුතු පිළිබඳ අධීක්ෂණ සභාපති ඇතුළු කොංග්‍රස් මණ්ඩලයේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් ජනාධිපතිවරයා මුණගැසී තිබේ.

එහිදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී  ලංකාව අතර ද්වීපාර්ශවික සබඳතා තර කර ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබේ.

මෙරට නව සංවර්ධන වැඩපිළිවෙළ සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ සහය අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එමෙන්ම ශ්‍රී ලංකාව භූගෝලීය වශයෙන් ඉතා වැදගත් ස්ථානයක පිහිටා ඇති බැවින් නෞකා ගමනා ගමනය පිළිබඳව පමණක් නොව ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද මෙහෙවරක් සිදු කර ඇති බව ජනාධිපතිවරයා පවසා ඇත.

 එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ මෙරටට විශේෂ ආයෝජන ගිවිසුම් ඇති කර ගැනීමේදී  ජාතික ආරක්ෂාව මෙන්ම කලාපීය ආරක්ෂාව පිළිබඳව ද අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.

 මෙහිදී අදහස් දැක්වූ අමෙරිකානු නියෝජිතයින් පසුගිය වසර දෙක තුළ සම්මුතිවාදී රජයේ ගමන් මඟ සහ එහි සාර්ථකත්වය මෙම සාකච්ඡාවේදී ඇගයීමට ලක් කර තිබේ.

එමෙන්ම කොංග්‍රස් මණ්ඩලයේ සාමාජිකයින් මෙරට සංහිඳියා වැඩපිළිවෙළ, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ වැඩපිළිවෙළ සහ ආර්ථික ප්‍රතිපත්තීන් ද ඇගයීමට ලක් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.