Back to Top

නිවාස හදන මුවාවෙන් කැලය වනසයි

නිවාස හදන මුවාවෙන් කැලය වනසයි

February 22, 2017  11:23 am

Bookmark and Share
නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් සිදුකෙරෙන වන විනාශයක් පිළිබඳව අලුත්ම තොරතුරු රැසක් අනාවරණ කරගැනීමට අද දෙරණ උකුස්සා සමත් වී ඇත.

හම්බන්තොට තිස්සමහාරාම උද්දකන්දර ප්‍රදේශයේ සිදු කෙරෙන නිවාස ව්‍යාපෘතියක් සඳහා අනවසරයෙන් කැලෑ එළිපෙහෙළි කිරීමක් පිළිබඳව අද දෙරණ උකුස්සාට පසුගිය දවසක රහසිගත තොරතුරක් ලැබුණි.

ඒ අනුව එහි සත්‍ය අසත්‍යතාවය සොයා බැලීමට උකුස්සා එම ප්‍රදේශය වෙත ගියේ ය.

ඒ වනවිටත් බැකෝ යන්ත්‍ර මඟින් එහි කැලෑ එළිපෙහෙළි කරමින් තිබුණු බව අපට දක්නට ලැබිණි.

එමෙන්ම කපා දැමීම තහනම් කර ඇති පලු ගසක් උකුස්සා එම ස්ථානයට ළඟා වන විටත් ගිනිගෙන දැවෙමින් තිබුණි.

මේ පිළිබඳ ප්‍රදේශවාසීන්ගෙන් උකුස්සා සිදු කළ විමසීමේදී අනාවරණ වුයේ බලධාරීන් මීට පෙර පැමිණ මේ ප්‍රදේශය නිරීක්ෂණය කළ ද මෙතෙක් එකී ව්‍යාපෘතිය නතර වී නොමැති බවයි.

ප්‍රදේශවාසීන් පවසන ආකාරයට මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ කැලෑ කැපීම පිටුපස රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු සිටීමයි.

මෙවැනි නිවාස ව්‍යාපෘතිය සඳහා ප්‍රාදේශීය සභාවෙන් කිසිදු අනුමැතියක් ගෙන නොමැති බවත්, අවම වශයෙන් පාරිසරික ඇඟයිම් වාර්තාවක් හෝ ලබාගෙන නොමැති බව ද තිස්සමහාරාම ප්‍රදේශීය සභාවේ ලේකම්වරයා විසින් උකුස්සාට කියා සිටියේ ය.

නිවාස ව්‍යාපෘතියක් සඳහා යැයි පවසමින් මෙසේ නිසි අවසරයකින් තොරව තිස්සමහාරාමයේ කැලෑ කැපීම සිදුකෙරෙන්නේ කුමන අමාත්‍යවරයාගේ ආශිර්වාදයෙන් ද යන්න අප සොයා බැලිය යුතු නොවේ ද? 

උකුස්සා තවදුරටත් ඒ පිළිබඳ අවධානයෙන් සිටිනු ඇත.