නීතීඥ සංගමයේ නිලවරණය කල් යයි
February 20, 2017 03:07 pm
ශ්රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධූරය සඳහා වන නිලවරණය පැවැත්වීම දිනය පසුව දැනුම් දෙන තුරු කල් දමා තිබේ.
හෙට (21) දිනයේ ශ්රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධූරය සඳහා වන නිලවරණය පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කර තිබුණි.
ශ්රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වෙයි.
නිලවරණය පැවැත්වීමේ කටයුතුවලින් විනිසුරුවරුන්ගේ සංගමය ඉවත්වීමට ගෙන ඇති තීරණයත් සමඟ මෙම අර්බුදකාරී තත්ත්වය මතුව ඇති බව සඳහන්ය.
සභාපති ධූරය සඳහා යූ.ආර්. ද සිල්වා , අනුර මැද්දේගොඩ, ආර්.සංඝරාජා යන නීතීඥවරු තරග වදින බවයි නීතීඥ සංගමයේ සභාපති ජෙෆ්රි අලගරත්නම් මහතා සඳහන් කළේය.
මෙම නිලවරණයේ තේරීම්භාර නිලධාරීවරුන් ලෙස කටයුතු කරනු ලබන්නේ දිසා විනිසුරුවරුන්ය.
කෙසේවෙතත් පසුගියදා මඩකළපුව දිස්ත්රික්කයේ නීතීඥවරයෙකු මහාධිකණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම සඳහා ශ්රී ලංකා නීතීඥ සංගමය මැදිහත් වු බවට චෝදනා කරමින් විනිසුරුවරුන්ගේ සංගමය ශ්රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය වර්ජනය කිරීමට තීරණය කර තිබේ.