මානව හිමිකම් පීඩනය අඩුකරන්න රණ විරුවන් බිල්ලට දෙනවා
February 20, 2017 01:49 pm
දැනට ඇප ලබා සිටින රණවිරුවන් දෙදෙනා ලබන බදාදා දිනයේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කරාවි යයි රණවිරුවන් අතර විශ්වාසයක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ආණ්ඩුව මෙලෙස උත්සාහ කරමින් සිටින්නේ මානව හිමිකම් සභාවෙන්, දෙමළ බෙදුම්වාදින්ගෙන් සහ රාජ්‍ය නොවන සංවිධානයන්ගෙන් යුද අපරාධ විමර්ශනය අරඹන මෙන් තිබෙන පීඩනය අඩු කර ගැනීමට පුංචි බිල්ලක් දීමට බව මන්ත්‍රීවරයා කියා සිටියේ අද (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
මාර්තු මාසයේ මානව හිමිකම් සැසිවාරය ආරම්භ කරන විට රණවිරුවන් රංචුවක්ම අත්අඩංගුවේ සිටියොත් බෙදුම්වාදින් වඩාත් සතුටුවන බව ඔහු අවධාරණය කළේය.
එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.
ආණ්ඩුවට රුපියල් බිලියන 6.5ක් පාඩුවක් සිදු වන වාහන ජාවාරමකට මුදල් ඇමති රවි කරුණානායක අනුග්‍රහය දක්වන බවට ටොප් ටෙන් දූෂණ ව්‍යාපෘතිය යටතේ අපි හෙළි කළා. අපි එතැනින් නැවතුණේ නෑ. මේ කාරණයේ වංචාවක් නෑ කියලා එතුමා අවංකවම විශ්වාස කරනවා නම් එන්න මා සමග ප්‍රසිද්ධ විවාදයකට කියලා අභියෝග කළා. එතුමා මට පිලිතුරු දෙන්න මාධ්‍ය හමුවක් පවත්වා කියනවා මා සමග විවාදයකට එන්නේ නෑ කියලා. එතුමා විවාදයට එන්නේ නෑ කියන්නේ එතැන වංචාවක් සිදු වෙලා තිබෙනවා කියන එකයි.
ඇමතිතුමා තව අපූරු කතාවක් කියලා තිබුණා. මගේ ප්‍රකාශයෙන් එතුමාට අපහාස වුණු නිසා මට නඩු පවරා හොඳ පාඩමක් උගන්නනවාලු. අනේ වාසනාවන්. එහෙම නඩු පැවරුවොත් රූපවාහිනි විවාදයේ දී පෙන්වන්න හිටපු දේවල් උසාවියටවත් පෙන්වන්න පුළුවන්. නමුත් මට එරෙහිව අපහාස නඩු ගොනු කරනවා කියලා තර්ජනය කරපු කිසිවෙක් මේ දක්වා නඩු ගොනු කරලා නෑ. රවි කරුණානායක ඇමතිතුමනි, නොවරදවා මේ නඩුව නම් ගොනු කරන්න. ඔබතුමාව උසාවියේ දී හමු වෙන්න මමත් හරිම ආසාවෙන් බලා ඉන්නේ.
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කලේ යැයි චෝදනා කරමින් බුද්ධි අංශ රණවිරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන මාස 15ක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා. මහ සංඝ රත්නය ඇතුළු දේශප්‍රේමින් අධිකරණය තුළත් ඉන් පිටත් කර ගෙන ගිය දැවැන්ත අරගලය හේතුවෙන් තමයි ඒ අයට ඇප ලැබුණේ.
සාක්ෂිකරුවන්ට බලපෑම් කරනවා කියන ව්‍යාජ චෝදනාව ගොනු කරමින් පොලීසිය 2017.02.14 උසාවියට වාර්තාවක් ඉදිරිපත් කරමින් ලුතිනන් කර්නල්වරුන් වන ෂම්මි කුමාරත්න සහ ප්‍රබෝධ සිරිවර්ධන යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මේ උත්සාහ කරන්නේ මානව හිමිකම් සභාවෙන්, දෙමළ බෙදුම්වාදින්ගෙන් සහ රාජ්‍ය නොවන සංවිධානයන්ගෙන් යුද අපරාධ විමර්ශනය අරඹන මෙන් තිබෙන පීඩනය අඩු කර ගැනීමට පුංචි බිල්ලක් දීමටයි.
මාර්තු මාසයේ මානව හිමිකම් සැසිවාරය ආරම්භ කරන විට රණවිරුවන් රංචුවක්ම අත්අඩංගුවේ සිටියොත් තමයි බෙදුම්වාදින් සතුටු වෙන්නේ. බොහෝ විට මේ රණවිරුවන් දෙදෙනා බදාදා දිනයේ රක්ෂිත බන්ධනාගාර ගත කරාවි කියලා අද රණවිරුවන් අතර විශ්වාසයක් තිබෙනවා.
මුලින්ම කියන්න ඔන මෙතන තියෙන්නේ නඩුවක් නෙමෙයි. මහේස්ත්‍රාත් උසාවියේ විමර්ශනයක්. නඩු ගොනු කලාට පස්සේ ප්‍රසිද්දියේ ඒ ගැන කතා කල නොහැකියි. නමුත් විමර්ෂණ කටයුත්තක් ගැන කතා කිරීමට කිසිම නීතිමය භාදාවක් නෑ.
මෙතනදි මේ ලුතිනන් කර්නල්වරුන් දෙදෙනාට නැගෙන චෝදනාව තමයි හමුදාවේ දැනටත් සේවය කරන ඔවුන් යටතේ එදා සේවය කල දෙදෙනෙකුට මේ අය දුරකථනයෙන් කතා කර තියෙනවා. එම පුද්ගලයන් දෙදෙනාගෙන් පොලීසියි ප්‍රස්න කරන්න ඉන්න නිසා සාක්ෂි කරුවන්ට බල පෑම් කරනව කියන එකයි මේ චෝදනාව. ඉන්දියාවේ විනිෂ්චිත තීන්දුවක් තියෙනවා මේ ගැන. කිසිවෙක් සාක්ෂිකරුවෙක් වෙන්නේ පොලීසියට ප්‍රකාශයක් ලබා දුන්නට පස්සෙයි. එතෙක් සාක්ෂි කරුවෙක් නෙමෙයි. මේ විදිහට ගත්තොත් අද මම කිසියම් පුද්ගලයෙක් එක්ක කතා කරනවා හෙට පොලීසිය කියනවා අපි එයාගෙන් ප්‍රකාශයක් ගන්න හිටියේ. මෙයා ගිහින් එයාට කතා කලා. ඒක සාක්ෂි කරුවන්ට බලපෑමක් කියලා.
මගේ නඩුවේදීත් මටත් ඔය චෝදනාව එල්ල වුණා. සාක්ෂි කරුවන්ට ඕස්ට්‍රේලියාවට ගිහින් බල පෑම් කළා කියලයි දින 13 මාව ඇතුළේ තිබ්බේ. නමුත් අපේ නීතිඥවරුන් මේ ගැන තර්ක කළා. මොකද කෙනෙක් සාක්ෂිකරුවෙක් වෙන්නේ පොලීසියට ප්‍රකාශයක් ලබා දුන්නට පස්සෙයි. එතෙක් සාක්ෂි කරුවෙක් නෙමෙයි. මගේ නීතිඥයන් උසාවියට ඉදිරිපත් කළ ඒ තර්කය උසාවිය පිළිගත් නිසා මට ඇප හිමි වුණා.
මේක ඉතාම භයානක තත්ත්වයක්. මොකද මම ගෙදර ගිහාම බිරිඳ සමග කොහොමත් කතා කරනව. මේ විදිහට පොලිසිය කියන්න පුළුවන් මගේ බිරිඳගෙන් මට විරුද්ධව ප්‍රකාශයක් ගන්නයි හිටියේ. ඒ නිසා ඇයත් එක්ක ඔබ කතා කිරීමෙන් සාක්ෂිකරුවන්ට බලපෑමක් සිදු වෙලා තියෙනවා කියලා .
මේ එක්නැලිගොඩ නඩුව ඉතාම විහිළු සහගත ලෙස ගොනු කළ නඩුවක්. මිනීමැරුම් චෝදනාවක් නැගුවත් මේ දක්වා මිනී මරනවා දුටු කෙනෙක් නෑ. මළ මිනියකුත් නෑ. ඒ දෙකම නැතුව මේ නඩුව දෙවසරකට අධික කාලයක් දැන් ඇදගෙන යනවා. මේ අතරේ රණවිරුවන් බිලි දීමට සුරංගනා කතා ලියූ සාහිත්‍ය චක්‍රවර්ති ශානි අබේසේකරට නම් ආණ්ඩුව හොඳට සලකලා තිබෙනවා. සහකාර පොලිස් අධිකාරි ධූරයේ සිට කෙලින්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධූරයට ද්විත්ව උසස්වීමක් ලබා දී තිබෙනවා. එතකොට අර ස්වාධීන පොලිස් කොමිසම ද මොකක්ද එකකුත් රටේ පිහෙටෙව්වා නේද? මේ ද්විත්ව උසස්වීම ගැන ඒ කොමිසම මොකද කියන්නේ කියල දැන ගන්න අපිත් කැමතියි.