බැඳුම්කර සිද්ධියේ පාර්ලිමේන්තු විවාදය අදයි

බැඳුම්කර සිද්ධියේ පාර්ලිමේන්තු විවාදය අදයි

January 24, 2017   08:51 am



මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වු පාර්ලිමේන්තු විවාදය අද(24) පැවැත්වීමට නියමිතව තිබේ.

කල් තැබීමේ විවාදයක් ලෙස මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ කෝප් වාර්තාව විවාදයට ගැනීමට නියමිතය.

 මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණ පැවැත් වූ පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු වාර්තාව පසුගිය වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

 ඒ අනුව අද පෙරවරු 9.30 යේ සිට දවස පුරා අදාළ වාර්තාව පිළිබද විවාදය පැවැත්වීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා සඳහන් කළේය.

  කෙසේවෙතත් මෙම විවාදය පැවැත්වීම නතර කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය උත්සාහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසූදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

අදාළ වාර්තාව අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබීම පදනම් කරගනිමින් පාර්ලිමේන්තු විවාදය කල් තැබීම අරමුණ වී ඇති බව වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පවසයා.

අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කරන නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා පවසන්නේ මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විවාදය නතර කිරීමට එක්සත් ජාතික පක්ෂයට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි.

මේ අතර අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට පෙර පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

අද පෙරවරුවේ කථානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන අතර එහිදී අද දිනයේ පැවැත්වෙන විවාදය පිළිබදව අවසන් තීරණයකට එළඹෙනු ඇත.