වෙළෙඳ සබඳතා ශක්තිමත් කරන්න එකඟතාවක්
January 22, 2017 07:48 am
ජී.එස්.පි.ප්ලස් සහනය ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාව සමග නව වෙළෙද සබඳතා ශක්තිමත් කරගැනීමට සියලු උත්සාහයන් දරණ බව බෙල්ජියම් රජය සහ යුරෝපා වෙළෙද සමාගම් එකඟතාව පල කර තිබේ.
මුදල් අමාත්‍ය රවී කරුණානායක, බෙල්ජියම් රජයේ නියෝජිතයින් සහ යුරෝපා වෙළෙද සමාගමේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවලදී මෙම එකඟතාව පල කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා බෙල්ජියමේ සංචාරයක නිරත වී තිබේ.
එහිදි අමාත්‍යවරුන් බෙල්ජියම් සහ යුරෝපා වෙළෙද සංගම් නියෝජිතයින් සමග සාර්ථක වටමේස සාකච්ඡාවක නිරත වී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මෙහිදි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ යුරෝපා ආයෝජන බැංකුවේ උප සභාපති ඇන්ඩෘ මැක්ඩොවෙල් මහතා අතර යුරෝ මිලියන 50ක් වූ මූල්‍ය ගිවිසුමකට අත්සන් තබා තිබේ.
යුරෝපා ආයෝජන බැංකු කාර්යාලයේ දි අත්සන් තැබුණු අදාළ ගිවිසුම මගින් මහකොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට නියමිතය.
මෙම සංචාරයේදී ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපෘති මෙන්ම හරිත බල ව්‍යාපෘති සඳහා සහය ලබාදෙන ලෙස බෙල්ජියම් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
ඊට ප්‍රතිචාර ලෙස බෙල්ජියම් රජයේ විශේෂ දූත පිරිසක් නුදුරේදීම මෙරට සංචාරයක නිරතවීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.