අයවැයෙන් යෝජිත නව කල්බදු ක්‍රමය ක්‍රියාත්මකයි

අයවැයෙන් යෝජිත නව කල්බදු ක්‍රමය ක්‍රියාත්මකයි

January 18, 2017   04:33 pm



කල්බදු ක්‍රමයට වාහන ලබාදීම පිළිබඳව නව රෙගුලාසියක් පසුගිය අයවැය මඟින් යෝජනා කළ අතර, එම යෝජනා යටතේ වාහන මිලදී ගැනීම සඳහා ලබාදෙන ණය සහ තක්සේරු වටිනාකම අතර අනුපාතය ත්‍රීරෝද රථ සඳහා 25% ක්, මෝටර් රථ හා වෑන් රථ සඳහා 50% ක්, ලොරි හා බර වාහන සඳහා 90% ක් වන පරිදි ක්‍රියාවට නැංවෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු හා ලීසිං ආයතන වෙත ලබාදී ඇති උපදෙස් අනුව, මෙම වසරේ සිට ත්‍රීරෝද රථ ඇතුළු මෝටර් රථ කල්බදු ක්‍රමයට ලබාගැනීම සඳහා නව නියාමන ක්‍රමවේදය ක්‍රියාවට නැංවෙන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව, ත්‍රීරෝද රථ මිලදී ගැනීමේදී මෙතෙක් පැවති වටිනාකමින් 10% ක මුදලක් ගෙවා ලබාගැනීමට තිබූ අවස්ථාව වෙනුවට මින් ඉදිරියට වටිනාකමින් 75% ක මුදලක් ගෙවා ත්‍රීරෝද රථයක් කල්බදු ක්‍රමයට ලබාගැනීමට සිදුවනු ඇත.

 රථවාහන නීති සහ දඩ මුදල් ගෙවීම සම්බන්ධයෙන් යෝජිත නීති නුදුරේදී සංශෝධනය කිරීමට නියමිත අතර, ත්‍රීරෝද රථ මිලදී ගැනීම සඳහා පනවා ඇති නව ණය සීමාව ත්‍රීරෝද රථ භාවිතය සම්බන්ධයෙන් පාලනයක් ඇතිවනු ඇතැයි මුදල් අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

එමෙන්ම පාර්ලිමේන්තුව විසින් 2017 වසර සඳහා සම්මත කරන ලද අයවැය මඟින් විවිධ අමාත්‍යාංශ හා ආයතන හරහා ක්‍රියාත්මක කිරීමට හඳුන්වාදෙන ලද නව යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහා භාණ්ඩාගාර ලේකම් විසින් සියලුම රේඛීය අමාත්‍යාංශ ලේකම්වරුන්ට ලිඛිතව දැනුම්දී තිබේ.

පෙර වසර වලදී අයවැය මඟින් යෝජිත ව්‍යපෘති සමහරක් අදාළ අවසර තුළ ක්‍රියාත්මක කිරීම විධිමත්ව සිදුනොවූ හෙයින්, එයින් අපේක්ෂිත ප්‍රතිලාභ අහිමි වූ බවත් මෙවර යෝජිත සියලු ව්‍යාපෘති අපේක්ෂිත පරිදි ක්‍රියාත්මක කිරීම තහවුරු කිරීම මෙම වැඩපිළිවෙලේ මුඛ්‍ය පරමාර්ථය බවත් මුදල් අමාත්‍යංශය පවසයි.

ඒ ඒ අමාත්‍යාංශ යටතට එන විෂය පථය අනුව අදාළ අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීම සඳහා අයවැයෙන් යෝජිත ව්‍යාපෘති සහ අලුතෙන් හඳුන්වාදිය යුතු අණපනත් පිළිබඳ සංක්ෂිප්ත වාර්තාවක්ද සහිතව අමාත්‍යාංශ ලේකම්වරු වෙත මුදල් අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

දුප්පත්කම තුරන් කර, රැකියා අවස්ථා ඇති කර ජනතාවගේ ආදායම වැඩිකිරීම සඳහා අයවැය මඟින් යෝජනා කර ඇති සියලු ව්‍යාපෘති හා ක්‍රියාකාරකම් මෙම වසර තුළ ක්‍රියාකාරී සැලැස්මක් අනුව ක්‍රියාවට නංවන්නැයි වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.

2017 අයවැය යෝජනා මඟින් නව ව්‍යාපෘති යෝජනා 325 ක් පමණ ක්‍රියාත්මක කිරීමට යෝජිත වන අතර, ජාතික අයවැය දෙපාර්තමේන්තුව මඟින් ඒ සඳහා සියලු අමාත්‍යාංශ වෙත අවශ්‍ය ප්‍රතිපාදන නව වසරට වෙන්කර දී තිබේ.

ඒ අනුව, එක් එක් ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට හැකිවන පරිදි අවශ්‍ය ප්‍රසම්පාදන සැලසුමක්ද සහිතව ක්‍රියාකාරී සැලැස්ම වහා පිළියෙළ කර අයවැය අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කරන මෙන් මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා විසින් දැනටමත් දැනුම් දී ඇත.

2017 අයවැයෙන් යෝජිත ඇතැම් යෝජනා අයවැය ඉදිරිපත් කළ එදින රාත්‍රී සිටම ක්‍රියාත්මක වූ අතර, අනෙකුත් බොහෝ යෝජනා ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමේ වගකීම අදාළ වගකිව යුතු අමාත්‍යාංශ හා නියාමන අධිකාරිය වෙත පැවරේ.

බදු ක්‍රමය සරල කිරීම යටතේ නව බදු වලට අදාළ අණපනත් 2017.04.01 දින සිට ක්‍රියාත්මක වේ.

සංචාරක ක්ෂේත්‍රය බෙහෙවින් වර්ධනය වී එන බැවින් එම ක්ෂේත්‍රයේ ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන මෙන් සංචාරක ප්‍රවාහන පද්ධතියට අදාල වෘත්තිකයන් විසින් ඉල්ලීමක් කර තිබුණි.ඒ අනුව සංචාරක හා ප්‍රවාහන ක්ෂේත්‍රයට මෙම ණය සීමාවන් අදාළ නොවන අතර, ඔවුන්ට 100% ක ණය සහන පදනමෙන් වාහන මිලදී ගැනීමට හැකිවනු ඇත.

 ඒ යටතේ, කල්බදු ක්‍රමයට වාහන ලබාදීම පිළිබඳව නව රෙගුලාසියක් අයවැය මඟින් යෝජනා කරන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු හා ලීසිං ආයතන වෙත ලබාදී ඇති උපදෙස් අනුව, මෙම වසරේ සිට ත්‍රීරෝද රථ ඇතුළු මෝටර් රථ කල්බදු ක්‍රමයට ලබාගැනීම සඳහා නව නියාමන ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

මෙම වසරට අයවැය මඟින් යෝජිත ව්‍යාපෘති 325, අදාළ රේඛීය අමාත්‍යාංශ හා අනෙකුත් නියාමන ආයතන මඟින් ක්‍රමානුකූල සැලසුමක් අනුව ක්‍රියාත්මක කිරීම තහවුරු කරනු වස්, මසකට වරක් එහි කාර්යසාධනය පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් ඇගයීමක් කොට මහා භාණ්ඩාගාරය වෙත දැනුම් දෙන්නැයි මහා භාණ්ඩාගාරයේ ලේකම් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දැනුම් දී ඇත.