විධායකය අහෝසි කරන්න ජනපති බැඳී සිටිනවා

විධායකය අහෝසි කරන්න ජනපති බැඳී සිටිනවා

January 18, 2017   03:30 pm




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමට බැඳී සිටින බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

විධායක ජනාධිපතික්‍රමය අහෝසි කළ යුතුය යන ස්ථාවරයේ ජනාධිපතිවරයා සිටින බවත්, එම ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යන්නේ යැයි ජනාධිපතිවරයා පවසා නොමැති බවත් කිරිඇල්ල මහතා පවසයි.

එමෙන්ම ආණ්ඩුවේ සියලු දෙනා එක්සත් ජාතික පක්ෂයේ ජනවරමට ගරු කළ යුතු අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ සිටිනුයේ එක්සත් ජාතික පක්ෂයට බහුතර බලයක් ලැබුණු  නිසා බවද ඒ මහතා ‍පෙන්වා දී ඇත.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයක්ම විධායක ජනපතිධූරය අහෝසි කළ යුතු බවට ප්‍රකාශ කර ඇතැයිද හෙතෙම පවසා සිටියේය.

එමෙන්ම පසුගිය කාලයේ විවිධ පුද්ගලයින් විසින් නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විවිධ මත හා විවිධ වගන්ති පළ කළඳ මේ වන තෙක් කිසිඳු වගන්තියක් නිර්මාණය කර නොමැති බවද ඔහු පැවසීය.

මේ වන විට ඉදිරිපත් වූ යෝජනා සැලකිල්ලට ගනිමින් වාර්තාවන් සකස් කර අවසන් බවත්, එම වාර්තා පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කර  ව්‍යවස්ථාවේ සංශෝධනයන් සිදු කිරීමට ඒවා දායක කර ගන්නා බවද අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම ව්‍යවස්ථාවේ සංශෝධනයන් දේශීය හා ජාත්‍යන්තර මාධ්‍යයන්ට විවිර කරමින් යෝජනා අදහස් විමසමින් පාර්ලිමේන්තු තීන්දු, තීරණ හා විවාදයන් යටතේ සිදු කරන බවත් එය මාධ්‍යට පුළුල් ලෙස විවර කරන බවද ඔහු පැවසීය.