සමලිංගිකත්වය පිළිගන්න බෑ - නියඟයට මුහුණදීමට ඩො.බිලියන 1.5ක් ඕනෑ

සමලිංගිකත්වය පිළිගන්න බෑ - නියඟයට මුහුණදීමට ඩො.බිලියන 1.5ක් ඕනෑ

January 17, 2017   08:53 pm


GSP+ වලට අදාළ ක්‍රියාකාරී සැලැස්මේ කරුණු 58 තුළ 6-01 සිට 6-08 දක්වා වගන්ති ඉවත්කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

මෙම වගන්තිවල සමලිංගිකත්වය ගැන කරුණු අඩංගු වන නමුත් සමලිංගිකත්වය පිළිගත නොහැකි බව අමාත්‍යවරයා කියා සිටියේ අද (17) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කර ඇති ක්‍රියාකාරී සැලැස්මේ එකඟවිය හැකි කරුණුවලට එකඟ වන අතර එකඟවිය නොහැකි කරුණුවලට කිසිසේත්ම එකඟ නොවන බවත්, ඒවා ක්‍රියාවට නැංවිය නොහැක්කේ මන්ද යන්න කරුණු දක්වන බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් ඒවා සම්බන්ධයෙන් අවසන් එකඟතාවට පැමිණ නැති බවත්, ඒ අනුව අවසන් එකඟතා බ්‍රස්ල්ස් වෙත දන්වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

එහෙත් ප්‍රධාන ගැටළුව වන්නේ ඉදිරි මාස 3ක කාලය තුළ එළඹෙන දැවැන්ත නියඟයට මුහුණදීම බවත්, ඒ සඳහා ඩොලර් බිලියන 1.5 ක මුදලක් අවශ්‍යව ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

විදේශයන්ගෙන් ආධාර ලෙස ලැබෙනුයේ ඩොලර් මිලියන 500 ක මුදලක් පමණක් බවත්, වතුර බෙදාහැරීම සඳහා බවුසර් පමණක් 600ක් ගෙන්විය යුතුව ඇති බව ගණනය කර ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම මුදල් සොයාගැනීම සඳහා ජනාධිපතිවරයා රටවල් ගණනාවක් සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.