ඕමන්ත මුරපොළේ අක්කර 16ක් රජයට දෙයි

ඕමන්ත මුරපොළේ අක්කර 16ක් රජයට දෙයි

January 17, 2017   05:08 pm




ආරක්ෂක අංශ සතුව පැවති වව්නියාව, ඕමන්ත මුරපොළට අයත්ව තිබූ අක්කර 16ක භූමි ප්‍රදේශයක් යළි රජය වෙත බාරදී තිබේ.

ආරක්ෂක අමාත්‍යංශය සමග පැවති සාකච්ඡාවලදී සහ එම ප්‍රදේශවල පදිංචිව සිටි ජනතාව සිදුකරන ලද ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස යුද හමුදාව විසින් එම ඉඩම් අද(17) දිනයේ යළි ලබාදුන් බව වව්නියාව දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

යුදමය වාතාවරණය පැවති සමයේ 1992 වසරේ සිට මෙම භූමි ප්‍රදේශයේ වරින් වර යුද හමුදා කඳවුරක් පවත්වාගෙන ගොස් ඇති අතර 2002 වසරේ මාර්තු මාසයේ දී ඕමන්ත හමුදා මුරපොළ එහි පිහිටවූ බව දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේය.

අක්කර 18ක් වූ මෙම භූමි ප්‍රදේශය, එහි ජීවත්වූ ජනතාවට අයත්ව තිබූ ඉඩම් බව පෙන්වා දෙන දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා එම ඉඩම්වලින් අක්කර 16ක් අද දිනයේ මෙලෙස රජය වෙත ලබාදුන් බව සඳහන් කර තිබේ.

සෙසු අක්කර 2ක ප්‍රදේශය තවදුරටත් ආරක්ෂක අංශ බාරයේ පවතින අතර එම ඉඩම් ප්‍රමාණය ද ඉදිරියේ දී නිදහස් කරනු ඇති බව ඔහු පැවසුවේය.

එමෙන්ම නිදහස් කෙරුණු ඉඩම් ඒවායේ මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම කඩිනමින් සිදුකරන බව වව්නියාව දිස්ත්රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.