ලංගම බසයට පහරදීලා

ලංගම බසයට පහරදීලා

January 17, 2017   05:03 pm



වව්නියාව නගරයේදී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයකට පහරදීමක් සිදුවී තිබේ.
 
ධාවන කාලසටහන් ගැටලුවක් මුල් කරගනිමින් එම පහරදීම සිදුකර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ උතුරු පළාත් ප්‍රධාන ප්‍රාදේශීය කළමනාකරු උපාලි කිරිවත්තුඩුව මහතා සඳහන් කළේය.
 
වව්නියාව නගරයේ ඊයේ (16) විවෘත කළ නව බස් නැවතුම්පොළට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඇතුළු කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒකාබද්ධ කාලසටහන් සකස් කිරීම සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුවී ඇත. 
 
එහිදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ පෞද්ගලික බස් රථ සේවකයන් වව්නියාව පැරණි බස් නැවතුම්පොළ වෙත ගොස් ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ අවහිර කරමින් විරෝධතාවයක නිරත වී තිබේ.
 
මේ හේතුවෙන් යාපනය - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
 
පැවති නොසන්සුන්කාරී තත්ත්වය පොලීසිය මැදිහත් වී පාලනය කිරීමෙන් අනතුරුව ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ මේ වන විට සාමාන්‍ය පරිදි ධාවනයට එක්කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ උතුරු පළාත් ප්‍රධාන ප්‍රාදේශීය කළමනාකරු පැවසීය.