මේ රට පාලනය කරන්නේ කොළඹින් ද? බ්‍රසල්ස් නගරයෙන්ද?

මේ රට පාලනය කරන්නේ කොළඹින් ද? බ්‍රසල්ස් නගරයෙන්ද?

January 17, 2017   04:29 pm



මෙරටට ජී. එස්. පී. ප්ලස් සහනය ලබා දීම ඔස්සේ දෙමළ ඩයස් පෝරාව යාන්ත්‍රණයක් වශයෙන් එය පවත්වාගෙන යෑමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කරයි. 

ඔවුන් මුලින්ම උත්සාහ දරණ ලද්දේ රණවිරුවන්ව දංගෙඩියට යැවීමට බවත්, එම නිසා තමා මෙම රජය හරහා විදෙස් විනිසුරුවරුන් ගේන්න උත්සාහ දැරූ බවත් ඒ මහතා පෙන්වා දෙනු ලබයි. 

ඒ අනුව ඔවුන්ගේ ඊළඟ යාන්ත්‍රණය  මෙම ජී. එස්. පී. ප්ලස් සහනය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බැවින් එවිට මෙම රට පාලනය කරනු ලබන්නේ කොළඹින් ද එසේත් නැතිනම් බ්‍රසල්ස් නගරයෙන් දැයි ඒ මහතා ප්‍රශ්න කර සිටියි. 

ඒ මහතා මේ බව කියා සිටියේ ජී. එස්. පී. ප්ලස් සහනය මෙරටට ලබා දීම සඳහා පනවා ඇති කොන්දේසි සම්බන්ධයෙන් පැහැදිලි කරමින් අද (17) කොළඹදී පැවති මාධ‍්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පවසා සිටියේය.

“මේකෙ කොන්දේසි 58ක් තියෙනවා.  ත්‍රස්තවාදී පනත අකුලා ගැනීම, එල් ටී ටී ඊ රැඳවියන් නිදහස් කිරීම, මහජන ආරක්ෂක පනත සංශෝධනය කිරීම, බන්ධනාගාර කළමනාකරණය කිරීම, යුක්තිය පසිඳලීමේ ක්‍රමය සංශෝධනය කිරීම, ආරක්ෂක පද්ධතිය ප්‍රතිව්‍යුහ ගත කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, මාධ්‍ය නිදහස තහවුරු කිරීම හා ඉඩම් සංවර්ධන නීති වෙනස් කරන්න මේ කොන්දේසිවලින් යෝජනා කරනවා. යෝජනා කරනවා. ඒ වගේම හමුදා වියදම් ලබා දීම හා සංහිඳියාව වැනි කරණු සම්බන්ධයෙනුත් මේ කොන්දේසි හරහා අවධානය යොමු කරනවා. “

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ පාර්ලිමේන්තුවේදී දැන් ඒකාබද්ධ විපක්ෂයට ඉඩක් ලබා නොදෙන බවයි. එසේම වරාය පිළිබඳ ප්‍රශ්නයේදී නිසි පරිදි ප්‍රකාශයක් ලබා ගැනීමට පවා ජනතාවට ඉඩ ලබා නොදුන් බවත් එතුමා පැවසීය. එසේම මෙසේ කෙදිනකවත් විදෙස් රටවල් වලින් බලපෑම් නොකළ බවද ඒ මහතා අවධාරණය කර සිටියේය.

මෙම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය,

“දැන් ජනතාවට බොන්න වතුර නෑ. හාල් නෑ. ජනතාවගේ ඇස්වලට වැලි ගහලා රටම සූක්ෂම විදිහට විකුණගෙන යනවා. මේකෙ වගඋත්තරකාරයා වන මුදල් ඇමතිතුමා පනතක් ගේනවා ඉඩම් අයිතිය වෙනස් කිරීමේ සංශෝධන පනතට තවත් සංශෝධනයක් කියලා. මේ අලුත් පනත හරහා විදෙස් ආයෝජකයින්ට හා සමාගම්වලට බදු දීමකින් තෙරව තමා ඉඩම් දෙන්න යන්නෙ. මේක මේ මහපොළොව උහුවන දෙයක් නෙමෙයි. 

අපි අහනවා  මුදල් ඇමතිට මෙහෙම කරන්න තියෙන බලය මොකක්ද කියලා. බදු නැතිව විදේශිකයින්ට ඉඩම් දෙන්නෙ නෑ. මෙහෙම එකක් අපි නම් අපේ ජීවිත කාලයේම අහලා තිබුණෙ නෑ. දේශද්‍රෝහී සංශෝධනයක් තමා මේක. ජනාධිපතිතුමා ඇතුළු නිදහස් පක්ෂෙ මන්ත්‍රීවරු මේ මාතෘ භූමිය විකුණන පනතට එකඟ වෙනවද කියලා අපි අහනවා. මාතෘ භූමියේ ඉඩම් මේ විදිහට විදේශිකයින්ට දීමට නීතිය නැවීම අපි පරාජය කළ යුතුයි. 

ඇමරිකානු ඩොලර් බිලියන එකක ණයක් ඉල්ලලා පසුගිය සතියෙ අගමැතිතුමා ණයක් ගන්න හැදුවා. ඒක මුදල් ඇමති කරන්න ඕන දෙයක්. අද වෙනකොට මුදල් ඇමති ඉඩම් බදු දෙන එක නවත්තන්න හදනවා. ඒ අතරෙ විශේෂ ආර්ථික පනතක් ගෙනල්ලා මන්ත්‍රීවරුන්ගෙයි ඇමතිවරුන්ගෙයි බලතල ගන්න හදනවා. මේ වගේ දේවල් කවද්ද මෙහෙම සිද්ධ වෙලා තියෙන්නෙ. 

ඇමරිකානු ඩොලර් ලක්ෂ තුනක් ලංකාවට ගේන විදේශිකයින්ට වීසා දීලා දැන් පුරවැසිභාවය දෙන්න හදනවා. මෙයාලා දැන් ගේන්නෙ රුපියල් මිලියන 45ක්. කොළඹ පර්චස් එකක මිල රුපියල් ලක්ෂ 180ක් විතර වෙනවා. එහෙම බැලුවම ගේන මුදලින් පර්චස් 3ක් වත් ගන්න බැහැ. එහෙම එන අයට මෙහෙ ඇවිල්ලා කුඩු විකුණන්න පුළුවන්. එතකොට මේක හොරුන්ගේ තිප්පොළක් කරන්න තමා මේ හදන්නෙ. 

ජනාධිපති තුමා කියනවා ජී එස් පී ප්ලස් ලැබුණෙ මේ රජයේ තිබුණ හොඳ වැඩපිළිවෙළ නිසා කියලා. අපි හිතන්න ඕනෙ චොකලට් පතුරක් දීලා තිබුණට සයනයිට් කරලක් කියලා දැන ගන්න ඕනෙ. රටේ සියළුම අංශවලට යුරෝපා ආර්ථික ප්‍රජාව ඉතාමත් සෘජු තීරණ අරගන්න තමා මේ හදන්නෙ.

පිටු 300කින් සමන්විත ලියවිල්ලක් මංගල සමරවීර ඉදිරිපත් කරලා තියෙනවා. මේකෙ රටේ ස්වයිරීභාවයට සංස්කෘතියට බලපාන කාරණා තියෙනවා. හදිසි නීතිය පනවන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක්  තියෙන්න ඕනෙ. සාක්ෂි ආඥා පනත වෙනස් කරන්න ඕනෙ. වීදි සරණ ළඳුන් පිළිබඳ පනත වෙනස් වෙන්න ඕනෙ.

සමලිංගික සේවනය අපරාධයක් නෙමෙයි කියලා පනතක් ගේනවා මේකෙන්. බලය බෙදීම කඩිනම් කළ යුතුයි. මේක රට පාවා දීමක් නෙවෙයි නම් මොකක්ද කියලා අපි අහනවා. දැන් මේ ආණ්ඩුව සියලුම දේවල් යුරෝපයට ඕන විදිහට තමා මේ කරන්න හදන්නෙ.මේවට නැවුණු නැති නිසා තමා මහින්දගෙ ආණ්ඩුව ගෙදර යවන්න දේදුනු සංධානයක් ගෙනාවෙ.“