පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වාර්තාව ළඟදීම එයි

පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වාර්තාව ළඟදීම එයි

January 17, 2017   01:03 pm



පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ සැලසුම් සහිත වාර්තාව ඉදිරි මාස දෙක තුළ අවසන් කර තමන් වෙත බාරදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් ලබා දී තිබේ.

පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මියට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ දී වෛද්‍ය පර්යේෂණ, ශල්‍යකර්ම, බාහිර අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීම්, ඖෂධ අලෙවිය ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම නියාමනය කිරීම සිදුකෙරෙයි.

මෙම නියාමන සැලසුම් සහිත වාර්තාව ජාත්‍යන්තර සමාගමක් වන කේ.පී.එම්.ජී.ආයතනය විසින් සකස් කරනු ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර පෞද්ගලික රෝහල් පරීක්ෂා කිරීම සඳහා හදිසි වැටලීම් අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, සහකාර ලේකම්, අනෙකුත් නිලධාරීන්ට අවශ්‍ය බලතල පැවරීම සඳහා ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා සැලසුම් කර තිබේ.