අතරමං වූ ධීවරයින් 4ක් සොයා ගැනෙයි

අතරමං වූ ධීවරයින් 4ක් සොයා ගැනෙයි

January 12, 2017   03:31 pm


ධීවර කටයුතු සඳහා කල්මුණේ ප්‍රදේශයෙන් මුහුදු ගොස් අතරමන්ව සිටි ධීවරයින් සිව් දෙනෙකු මාලදිවයින මුහුදු ප්‍රදේශයේදී ආරක්ෂිතව මුදාගෙන තිබේ.

මාලදිවයින් ආරක්ෂක හමුදාව විසින් අදාළ ධීවරයින් සොයාගෙන ඇති බව සඳහන්ය.

ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය හබීබ් මොහොමඩ් හරීස් මහතා පසුගියදා සිදු කළ මාලදිවයින් සංචාරයකදී එරට උප ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් සොයා ගැනීමට සහය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව සෝදිසි මෙහෙයුම් කඩිනම් කළ මාලදිවයින් රජය මාලදිවයිනට ආසන්න මුහුදු ප්‍රදේශයේදී අදාළ ධීවරයින් අද(12) අළුයම ආරක්ෂිතව මුදාගත් බව නියෝජ්‍ය අමාත්‍ය හබීබ් මොහොමඩ් හරීස් මහතා වෙත දැනුම්දී තිබේ.

මීට පෙරද කල්මුණේ ප්‍රදේශයෙන් මුහුදු ගොස් අතුරුදන්ව සිටි මෙරට ධීවරයින් දෙදෙනෙකු මාලදිවයින් රජය විසින් මුදාගෙන තිබුණි.

ඒ අනුව මාලදිවයින් රජය බාරයේ සිටින ශ්‍රී ලාංකික ධීවරයින් 06 දෙනා කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය හබීබ් මොහොමඩ් හරීස් මහතා සඳහන් කළේය.