ඩොලර් ලක්ෂ 3ක් නම් වීසා ලැබෙයි
January 12, 2017 01:08 pm
අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂයකට වැඩි ආයෝජනයක් සිදු කරන විදේශිකයෙකුට වසර 05ක උපරිම කාලයක් සඳහා තාවකාලික නේවාසික වීසා නිකුත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂයක් හෝ ඊට වැඩි ආයෝජනයක් සිදු කරන විදේශිකයෙකුට අවම වසර දෙකේ සිට උපරිම වසර පහ දක්වා කාලයක් නේවාසික වීසා නිකුත් කරන බවයි.
අද(12) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රවී කරුණානායක අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මෙහිදී මෙරටට යළි හිමිවූ ජී එස් පී ප්ලස් සහනය සම්බන්ධයෙන් අමාත්‍යවරයා පවසා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාගේ අත්තනෝමතික පාලනයෙන් පසු දැන් නැවතත් ජී එස් පී ප්ලස් සහනය ලැබී ඇති බවයි.
එසේම ඩලස් අලහප්පෙරුම වැනි පුද්ගලයින් මෙය ලැබුණත් නොලැබුණත් වෙනසක් නැති බව පැවසුවද මෙමඟින් සහනයක් ලැබී ඇති බව ඒ මහතා පෙන්වා දුනි.
හම්බන්තොට වරායේ කිරීමේ ගිවිසුම කල් යන්නේදැයි මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී රවී කරුණානායක මහතා පවසා සිටියේ තම ආණ්ඩුව විසින් රුහුණු සංවර්ධනය ආරම්භ කළ බවත්, ඒ නිසා එය පටලවා නොගත යුතු බවත්ය.
එසේම ඔහු සඳහන් කළේ වරාය සම්බන්ධයෙන් කමිටුවක් පත් කර ඇති බවත් ව්‍යාපෘතියට ඉඩම් ලබා දීම ආණ්ඩුවේ කාර්යභාරයක් වන බවත්ය.
ජී එස් පී ප්ලස් සහනයේ ලබාදීම සම්බන්ධයෙන් කොන්දේසි පවතිනවාදැයි මාධ්‍යවේදීන් විමසා සිටීමේදී එවැනි කොන්දේසි නොමැති බවත් මාධ්‍යවලට අත තැබීම ආදිය කළ නොහැකි බවත් රවී කරුණානායක මහතා සඳහන් කළේය.
එහෙත් පසුගිය දිනයක නාවුක හමුදාපතිවරයා මාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය සම්බන්ධයන් මාධ්‍යවේදීන් පෙරළා ප්‍රශ්න කිරීමේදී අමාත්‍යවරයා පවසා සිටියේ තමන් ඒ සම්බන්ධයෙන් නොදන්නා බවයි.
පසුගිය දින හම්බන්තොට ඇතිවූ සිද්ධියේදී ගම්වාසීන්ට නිසි ආකාරයෙන් දැනුවත් වීමක් සිදු නොවී ඇත්දැයි මාධ්‍යවේදීන් විමසා සිටීමේදී අමාත්‍යවරයා පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් යම් දෝෂයක් ඇතිවූ බවත් එම නිසා අදාළ දැනුවත් කිරීම නිසි ආකාරයෙන් ජනතාව වෙත නොගිය බවත්ය.
අමාත්‍යවරයා චීන තානාපතිවරයා හමුවීම සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටීමේදී අමාත්‍යවරයා පැවසුවේ මහින්ද රාජපක්ෂ චීන තානාපති හමුවීම ගැටළුවක් ලෙස නොදකින බවත් අග්‍රාමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා චීන තානාපතිවරයා හමුවුවහොත් එහි වැරැද්දක් ඇතමුන් දකින බවයි.
එසේම විදේශ රටවල ආයෝජනය කර ඇති නීතිවිරෝධී නොවන මුදල් මෙරටට ගෙන ඒමට හැකි බවත් ඒවා ලංකාවේ ආයෝජනය කිරීම සඳහා අවශ්‍ය නීති සැකසීමට පියවර ගැනීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව එම මුදල් කොටස් වෙළෙඳපොළ, බැංකු සහ බැඳුම්කරවල ආයෝජනය කළ හැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
තව ද තනි පුද්ගලයින් වශයෙන් විදේශිකයින් අමෙරිකානු ඩොලර් ලක්ෂ 3ක මුදල් මෙරටට ගෙන එන්නේ නම් අවුරුදු දෙකත් පහත් අතර කාලයකට තාවකාලිකව වීසා ඔවුන්ට ලබා දීමට කටයුතු කරන බවද රවී කරුණානායක මහතා පැවසීය.
පසුගියද එතුමාට හිමිවූ බෑන්කර් සම්මානය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසා සිටීමේදී මුදල් අමාත්‍යවරයා පැවසුවේ තමා මෙරටේදී පිළිගැනීමක් නොලැබෙන නමුත් ලෝකය තමන්ව පිළිගන්නා බවයි.
එසේම එය තමාගේ පුද්ගලික ජයග්‍රහණයක් නොවන බවත් එය රටේ ජයග්‍රහණයක් බවත් එතුමා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.