ස්ටෙන්ට්වලට මුදල් අය කිරීම තහනම්

ස්ටෙන්ට්වලට මුදල් අය කිරීම තහනම්

January 12, 2017   11:52 am



අක්ෂිකාච සහ හෘද රෝග ප්‍රතිකාර සඳහා භාවිත කරන ස්ටෙන්ට් ලබා ගැනීමට රජයේ රෝහල් කරා පැමිණෙන කිසිඳු රෝගියෙකුගෙන් මුදල් අය කර ගැනීම තහනම් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ සඳහා වූ චක්‍ර ලේඛයක් නිකුත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

ස්ටෙන්ට් ලබා ගැනීමට රජයේ රෝහල් කරා පැමිණෙන රෝගීන්ගෙන්  ඇතැම් වෛද්‍යවරුන් මුදල් අයකර ගැනීම පිළිබඳ පැමිණිලි ලැබීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම පියවර ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය අසළ ස්ටෙන්ට් අලෙවි කෙරෙන සමාගම්වල නියෝජිතයින් සිටින බවට ඊයේ (11) ලැබුණු තොරතුරකට අනුව ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන ඒකකයට දැනුම්දීමක් ද සිදු කර තිබේ.

එමෙන්ම ස්ටෙන්ට් අලෙවි කෙරෙන  සමාගම්වල නියෝජිතයින්ට හෘද රෝග ඒකක භූමියට ඇතුළුවීම තහනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පවසා සිටියේය.