අක්ෂි-පටක ගැනීමේදී පහසුකම් සපයන්නැයි උපදෙස්

අක්ෂි-පටක ගැනීමේදී පහසුකම් සපයන්නැයි උපදෙස්

January 12, 2017   11:29 am



ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය සඳහා අක්ෂි සහ පටක ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙස සියලු රජයේ රෝහල් අධ්‍යක්ෂවරුන් දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඉදිරියේදී චක්‍රලේඛයක් මඟින් ඒ පිළිබඳ රෝහල් අධ්‍යක්ෂවරුන් දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ සභාපති ඩී.සී. රණසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදී අදාළ තීරණය ගෙන ඇති බව සඳහන්ය.

වසර 50ක සිට මෙරට ජනතාවට අක්ෂි සහ පටක නොමිලේ ලබා දෙන අක්ෂිදාන සංගමය සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් ලබා දෙන රුපියල් ලක්ෂ 02ක මුදල ලක්ෂ 10 දක්වා වැඩි කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යංශ ලේකම් අනුර ජයවික්‍රම මහතා වෙත උපදෙස් දී තිබේ.

මේ අතර අක්ෂි කාච නිර්දේශ කරන වෛද්‍යවරුන්ට ඇතැම් ආනයන සමාගම්වලින් මුදල් ලැබීමේ ජාවාරමක් පිළිබඳවද  තොරතුරු ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව එම ජාවාරම නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසා ඇත.