Back to Top

ඩොලර් බිලියන පහක ආයෝජනයක් චීනයෙන් ලංකාවට ගේනවා

ඩොලර් බිලියන පහක ආයෝජනයක් චීනයෙන් ලංකාවට ගේනවා

January 12, 2017  11:27 am

Bookmark and Share

ඩොලර් බිලියන පහක ආයෝජනයක් ලංකාවට ගෙන ඒමට චීනය සූදානමින් සිටින බව චීන තානාපතිතුමන් පැවසූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊළඟ වසර තුන හතර ඇතුළත මෙම ආයෝජනය ගෙනෙන බවත් එම ආයෝජනවලින් කොටසක් මොණරාගලට ලැබෙන බවත් එතුමා පවසයි.  එසේම ගාල්ල, රත්නපුර, බදුල්ල සෑම ප්‍රදේශයකම හොඳ වෘත්තීය පුහුණු ආයතන ගණනාවක් ඇති කිරීම තම අපේක්‍ෂාව බවත් ඒ මහතා පවසා සිටියි.එතුමා මේ බව පැවසුවේ පසුගිය  රුහුණු සංවර්ධන වැඩසටහන විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“2015 ජනවාරි 08 වැනිදා අප සියලූ දෙනා එකතු වී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත් කර ගත්තේ මෙරට ජනතාවට හොඳ ජීවිතයක් ලබාදීමට සහ තරුණ තරුණියන් සඳහා රැකියා ලබාදීමටයි. ප්‍රධාන පක්‍ෂ දෙක එක්වී අගෝස්තු මාසයේදී ජාතික ආණ්ඩුවක් හැදුවේ ඒ අරමුණ ඉටුකර ගැනීමටයි. අප දේශපාලනයේදී කඹ ඇද්දත් රට දියුණු කිරීම සඳහා එකතු වී සිටිනවා.මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වී තුන්වැනි තිරසර වසර ඇරැඹෙන විට අප යෝධ සංවර්ධන සංග්‍රාමය හම්බන්තොටින් අරඹනවා. 1977 වසරේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කැබිනට් මණ්ඩලයේ සිටියදී අපි මෙවැනිම යෝධ සංවර්ධන වැඩසටහනක් ආරම්භ කළා. එදා ඒ සංවර්ධනය ඇරැඹූයේ මහවැලියෙන්. අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යුගයේදී ඊටත් වඩා සංවර්ධනයක් හම්බන්තොටින් ආරම්භ කරනවා.හම්බන්තොට වැටෙන්න ගිය වරායෙන් අපි ඔක්කොම නැගිටිනවා. හම්බන්තොට වරායක් ඉදිකළ යුතු යැයි අපේ පක්‍ෂ කතා කර තිබුණා. නමුත් වරාය ඉදිකළේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමායි. එතුමා චීනයේ එක්සින් බැංකුවෙන් ණය ගෙන අපේ වරාය අධිකාරියටත් අනෙක් සමාගම්වලටත් කියා මේ වරාය ඉදි කළා. මේ ප්‍රදේශයට ආයෝජකයන් පැමිණ කර්මාන්තශාලා බිහිවේවි යැයි අප කල්පනා කළා. නමුත් එය සිදු වූයේ නැහැ.

2015 දී අපි රජය භාරගත් විට ප්‍රශ්න ගණනාවකට අපට මුහුණ දීමට සිදුවුණා. එක අතකින් මේ ප්‍රදේශයට ආයෝජන සහ කර්මාන්ත ලැබුණේ නැහැ. ඒ නිසා මේ වරායට නැව් ආවේ නැහැ. ආනයනය කරන්න වගේ අපනයනය කරන්නත් නැව් භාණ්ඩ තිබුණේ නැහැ.2014 වසරේදී රුපියල් මිලියන 983 ක අලාභයක් විඳින්නට සිදු වුණා. 2015 වසරේදී එම අලාභය රුපියල් මිලියන 449 ක් වුණා. 2017 වන විට අපට ණය ගෙවන්න සිදු වුණා. එසේ නම් අපට අලාභය පමණක් නොව ණය වාරිකය ගෙවීමටත් සිදු වෙනවා. මේ නිසා අපට විශාල අර්බුදයකට මුහුණ දීමට සිදු වුණා.2017 වනවිට එක් අතකින් අලාභ ලබන වරාය වැටෙනවා. අනෙක් අතින් අපේ ආර්ථිකය කඩා වැටෙනවා. දරුවා මෙන්ම මවත් මැරෙන්නට නියම වී සිටියා. ඒ අවස්ථාවේදී ගත යුතු පියවර කුමක්දැයි අප සාකච්ඡා කාළා.මේ ණය අවලංගු කළ හැකිදැයි අප චීන ආණ්ඩුවෙන් සොයා බැලූවා. නමුත් ගත් ණය කොන්දේසි අනුව එය කරන්නට හැකි වුණේ නැහැ. අපට ණය ගෙවන්න බැරිවුණොත් එහි විපාක විදිනට සිදු වෙනවා.

මේ ගැන සාකච්ඡා කිරීමට මා චීනයට ගියා. මා සමග නිමල් සිරිපාල, සරත් අමුණුගම, මලික් සමරවික්‍රම, සජිත් ප්‍රේමදාස යන ඇමතිවරුන්ද ගියා. චීන ජනපති හා අගමැති මුණ ගැසීමට පෙර නිලධාරීන් සහ ඇමැතිවරුන් සමග සාකච්ඡා කළා. අපට ණය අවලංගු කරන්නට බැරිනම් කරන්නේ කුමක්දැයි කතා වුණා. මේ ප්‍රශ්න පිළිබඳව ඔවුන්ගේ විශේෂ අවධානයක් ඇති කිරීමට අපට හැකියාව ලැබුණා. නැව් නැති වරාය ඉදිරියට ගෙනයාමට නම් අපට අළුතින් සිතන්නට සිදු වෙනවා.මේ ප්‍රදේශය මෙන්ම වරාය දියුණු කරන්න නම් කර්මාන්ත ආර්ථිකයක් බිහි කළ යුතුයි. එයින් අපට නැව්, භාණ්ඩ ලබා ගත හැකියි. කර්මාන්ත ශාලා 2000 -2500 ක් පමණ අවශ්‍යයි. ඒ සඳහා ලංකාවේ අපට මුදල් නැහැ. වෙනත් විදේශිකයන් හම්බන්තොටට එන්නෙත් නැහැ. අප ෂෙං චෙං ක්‍රමය ක්‍රියාත්මක කරනවාද කියා කල්පනා කළා.ෂෙං චෙං  යනු දකුණු චීනයේ හොංකොං ආශ්‍රිතව තිබූ ඉතා ග්‍රාමීය ප්‍රදේශයක්. 1979 වසරේදී මමත් ප්‍රේමදාස ජනාධිපතිතුමාත් මේ ප්‍රදේශය හරහා ගියා. එහි තිබුණේ කුඹුරු සහ ධීවර ගම්මානයක් පමණයි. එහි 30,000 ක ජනතාවක් සිටියා.

මෙහි විශේෂ වෙළෙඳ කලාපයක් ඉදිකළ යුතු බව ඩෙන් ෂෝ පිග්න් මැතිතුමා තීරණය කළා. එකම රටක ආර්ථික ක්‍රම දෙකක් ඇති කරන ක්‍රමය පිළිබඳව මෙරට උපාලි විජයවර්ධන මහතා හමුවී කරුණු ගැනීමට එතුමා චීන කණ්ඩායමක් ලංකාවට එව්වා.අපි කටුනායක ආයෝජන කලාපය පටන් ගත්තේ අක්කර 300 කින්, ඩෙන් ෂෝ පිග්න් මැතිතුමා වර්ග කිලෝ මීටර් 2000 කින් ආයෝජන කලාපය පටන් ගත්තා. ඕනෑම විදේශිකයකුට පැමිණ ආයෝජන කරන්නට අවස්ථාව දුන්නා. වසර 10 වනවිට එහි විශාල නගරයක් නිර්මාණය වී තිබුණා. එම විශාල ආයෝජන කලාපයේ මුලින්ම වරාය සහ ගුවන් තොටුපොළ හැදුවා. අද එය ලෝකයේ විශාලතම කර්මාන්ත නගරයක් බවට පත්වී තිබෙනවා. ලෝකයේ තුන්වැනි තැන ගත් වරායක් එහි නිර්මාණය වී තිබෙනවා.

මේ ධීවර ගම්මානයේ නැව් තිබුණේ නැහැ. වරාය ඉදිකළ පසුව සමාගම් 39 ක් පැමිණ නැව් මාර්ග 131 ක් ඇති කිරීමට තීරණය කළා.මෙවැනි වැඩසටහන් ශ්‍රී ලංකාවෙත් කළ හැකි බව චීන ජනාධිපතිතුමා අපට පැවැසුවා. ශ්‍රී ලංකාව සහ චීනය එක්වුවහොත් එය කළ හැකි බවද ඔහු පැවැසුවා. වරාය වසර 15 ක් 20 අලාභ ලැබිය හැකි බැවින් හම්බන්තොට වෙනුවෙන් අලූත් සමාගමක් ඇති කළ විට අපත් කොටස් මිලදී ගන්නම් යැයි චීන ජනාධිපතිවරයා අප සමග පැවැසුවා. ඔබ අපට තිබෙන ණයට සමාන කොටසක් මිලදී ගන්නම් යැයි ඔහු පැවසුවා. අපේ ආර්ථික කමිටුව රැස්වී මේ පිළිබඳව සාකච්ඡා කළා.මේ ප්‍රදේශ දියුණු කරන්න නම් තෙල් පිරිපහදු කර්මාන්ත ශාලා සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය මේ ප්‍රදේශයේ තිබෙනවා දැයි චීනය අපෙන් ඇසුවා. නගර, කම්හල්, තෙල් පිරිපහදු සඳහා අක්කර 15,000 ක් පමණ අවශ්‍ය බව ඔවුන් කිව්වා.

අපි අක්කර 15,000 ක් චීනයට දෙන්නේ නැහැ. ජපානයට දෙන්නේ නැහැ. ආයෝජකයන් එන විට අවශ්‍ය පරිදි ආයෝජකයන්ට දෙනවා. ආයෝජන කලාපවල ඉඩම් ප්‍රමාණය විශාල වන තරමට ඒ සඳහා වැයවන යටිතල පහසුකම් වියදම අඩුයි. මහවැලි ව්‍යාපාරය කළ අයුරින් අවශ්‍ය වේලාවට ඉඩම් මුදා හැරීම අපේ අරමුණයි.හැමදාම බදු සහන දිය නොහැකි බව මා චීනයට පැවැසුවා. ටික කලකින් පසු අප බදු ගෙවන්නම් නමුත් දිගු කාලීන වැඩසටහනක් අනුව මේ ව්‍යාපෘතිය කරන්නට සිදුවන බව චීනය පැවැසුවා. මුලින් චීන කම්හල් මෙහි ඇරුඹූ විට අනෙක් රටවල් ද මේ ප්‍රදේශයේ ආයෝජනයට පෙළඹෙන බව චීනය අප සමග පැවැසුවා. ඒ අනුව එකඟ වී අප වැඩකටයුතු පටන් ගත්තා.

ආයෝජන සඳහා සමාගමක් නම් කරන ලෙස අප චීන රජයට දැනුම් දුන්නා. චයිනා හාබර් සහ චයිනා මර්චන්ට් සමාගම් දෙක ඔවුන් විසින් නම් කළා.2014 වසරේ සැප්තැම්බර් 16 වැනිදා චීන ජනාධිපති සහ එවකට මෙරට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගිවිසුමක් අත්සන් කළා. හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ දෙවැනි අදියර සඳහා එය අත්සන් කෙරුණා. මෙය ජාත්‍යන්තර වරායක් ලෙස දියුණු කිරීමටත් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් දැනට ඇති කළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් ඒ ගිවිසුමෙන් කියැවුණා. මේ කාර්ය පටන් ගත්තේ මෛත්‍රීපාල සිරිසේන යුගයේදී නොවේ. කර්මාන්ත කරණය අවශ්‍යයි යන වැඩසටහන ඇරැඹූයේ 2014 වසරේ මහින්ද රාජපක්‍ෂ යුගයේදීයි. දෙරටේ ජනාධිපතිවරුන් ඒ සඳහා ගිවිසුමකට එළඹුණා.මම බැලූවේ චීන අය දුන් වාර්තායි. චීන අය බැලූවේ මහින්ද රාජපක්‍ෂ දුන් අනුමැති අනුවයි.

මේ වසරේදී බිලියන 1.4 ක එක්සින් බැංකුවේ ණය ගෙවන්නේ කෙසේද යන්න අපට විශාල ප්‍රශ්නයක් අපට තිබුණා. අපට මුදල් නැහැ. එසේ වුවහොත් වැට් බදු වැඩි කිරීමට වන බව මුදල් ඇමැතිතුමා පැවැසුවා. වරාය විකිණීමට හැකියාවකුත් නැහැ. වැඩිපුර අපට මුදල් ලැබෙන්නේ චයිනා මර්චන් සමාගමෙන්. අවසානයේ 80% ක් ලබාදීමට අප තීරණය කළා. 80% ක් යනු බිලියන 1.1 ක ණය අඩු වෙනවා. එවිට අපට තිබෙන බර අඩු වෙනවා. සියයට 55 ක් දී 45% ක් තියාගන්න තිබුණා. එවිට ජනතාව මත තවත් බදු බර පටවන්න සිදු වෙනවා. 100% ම දුන්නොත් අපට සම්පූර්ණ ණය ගෙවන්න හැකි බව තවත් සමහරු කිව්වා.අපටත් පාලනයක් අවශ්‍යය. අපට ඇත්තේ 20% ක කොටස් වුවත් විශේෂ පරිපාලන අයිතියක් අප තියාගන්නවා. එමෙන්ම ගාල්ලේ නාවික කඳවුර හම්බන්තොටට ගෙනැවිත් ගාල්ලට වෙරළ ආරක්‍ෂක කඳවුර ගේන්න අප තීරණය කළා.මෙහි එන සැමට බලපාන්නේ ලංකාවේ නීතියයි. චයිනා මර්චන් සමාගමෙන් ආවත්, නැවකින් බැස්සත් ලංකාවේ නීතිය බලපානවා. ඒ අනුව එකඟ වී අප ගිවිසුමක් අත්සන් කොට තවත් ගිවිසුම් දෙකක් ගැන සාකච්ඡා කරනවා. මෙම සියලූ ගිවිසුම් ඇති කර ගන්නේ පාර්ලිමේන්තුව දැනුවත් කොට විනිවිද බවක් ඇති ආකාරයටයි.

මේ සියළු දේ කරන අතර අප අතීතය ගැනත් සිතා බැලිය යුතුයි. හම්බන්තොට අපේ රටට පමණක් දියුණු කළ නොහැකි බව දැනගත්තේ එදා මහින්ද රාජපක්‍ෂ මහතා චීන ජනාධිපතිවරයා සමග අත්සන් කළ ගිවිසුම නිසයි.චයිනා මර්චන්ට් යනු 1872 වසරේ ඇරැඹූ පැරණි සමාගමක්. එම සමාගම චීනයේ වරායන් 12-13 ක් පමණ පවත්වාගෙන යනවා.රුහුණු ආර්ථික කලාපය පිළිබඳව දැන් අපේ අවධානය යොමු විය යුතුයි. දැනට අක්කර 1235 ක් මේ සඳහා වෙන් කර තිබෙනවා. එය කිසිවකුටත් හානියක් නොවන පරිදි කරන්නට හැකියාව තිබෙනවා.ඉදිරි ඉඩම් බෙදා දෙන්නේ කෙසේද? මොණරාගල, මාතර ප්‍රදේශ ගැන ප්‍රශ්නයක් නැහැ. ඇóලිපිටියේ ඉඩම් සොයාගෙන යනවා. ගාල්ලෙන් ඉඩම් දෙන්නම් යැයි වජිර ඇමැතිතුමා පැවසුවා.අප චමල් රාජපක්‍ෂ මැතිතුමා සමග ගොස් තිස්සමහාරාමයේ නායක හිමි ඇතුළු මහා සංඝරත්නය හමුවී කරුණු පැහැදිලි කළා. හම්බන්තොට නැතිව මේ සංවර්ධනය කරන්නදැයි අප සංඝයාවහන්සේලාගෙන් ඇසූ විට මේ ප්‍රදේශත් සංවර්ධනය විය යුතු බව උන්වහන්සේලා පැවැසුවා. මීට යොදා ගන්නා ඉඩම්වලින් 95% රජයේ ඉඩම්. පන්සල්, පුරාවිද්‍යා ඉඩම් භාවිතා කරන්නේ නැහැ.

හම්බන්තොට ඉඩම් හඳුනා ගැනීම පිළිබඳව දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාටත් හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතාටත් තීරණය කරන ලෙස අප දැනුම් දුන්නා. මහින්ද අමරවීර සහ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරුන් සමග ඒ ගැන සාකච්ඡා කර තීරණ ගන්නා ලෙස ද පවසා තිබෙනවා. මොණරාගල සහ හම්බන්තොට වර්ග කිලෝමීටර් 7000 ක් තිබෙනවා. කර්මාන්ත එනවා නම් අපට තවත් ඉඩම් ලබාදිය හැකියි. කර්මාන්ත බිහි කිරීම සඳහා වැල්ලවායෙත් ඒකලේ ඉඩම් වෙන්කර තිබුණා. එසේ නම් වැල්ලවාය, මොණරාගල දක්වා සංවර්ධන තීරුවක් ඇති කිරීම පිළිබඳවත් අප සාකච්ඡා කළා.මාතර ඉඩම් අප නම් කර තිබෙනවා. ගාල්ලේ ඉඩම් යොදවන්නේ කෙසේදැයි වජිර අබේවර්ධන ඇමැතිතුමා කල්පනා කරනවා.රුහුණු ආර්ථික කලාපය පිළිබඳව සාකච්ඡා කිරීමට කමිටුවක් පත් කරන්න මා තීරණය කළා. සාගල රත්නායක ඇමැතිතුමන්ගේ සභාපතීත්වයෙන් චමල් රාජපක්‍ෂ හිටපු කතානායකතුමන් සම සභාපති ලෙසත්, සජිත් ප්‍රේමදාස, මහින්ද අමරවීර, විජිත් විජිතමුණි සොයිසා, රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විතව මේ කමිටුව පත් කරනවා. අප කර්මාන්ත, හෝටල් ඉදිකරන්නේ කෙසේද පිළිබඳව ඒ කමිටුවෙන් තීරණය ගන්නවා.

ඩොලර් බිලියන පහක ආයෝජනයක් ලංකාවට ගෙන ඒමට චීනය සූදානමින් සිටින බව චීන තානාපතිතුමන් අප සමග පැවැසුවා. ඊළඟ වසර තුන හතර ඇතුළත මේ ආයෝජනය ගෙනෙන බවද ඔහු පැවැසුවා. ඒ ආයෝජනවලින් කොටසක් මොණරාගලටත් එනවා. ගාල්ල, රත්නපුර, බදුල්ල හැම ප්‍රදේශයකම හොඳ වෘත්තීය පුහුණු ආයතන ගණනාවක් ඇති කිරීම අපේ අපේක්‍ෂාවයි. අප ඒ ජාලය ඇති කර ගත යුතුයි.හම්බන්තොටින් ඩොලර් බිලියන ගණනාවක් එනවා නම් විශාල වැඩකොටසක් මේ ප්‍රදේශයේ කළ  හැකියි. මේ ඇරැඹුම පමණයි. අප මෙතැනින් අවසන් කරන්නේ නැහැ. අපේ ඉලක්කය නිරිතදිග තීරුව යනුවෙන් ආර්ථික තීරයක් ඇති කිරීමයි. විදේශ රටවලුත් එවැනි සංවර්ධන කලාප ඇති කර තිබෙනවා.නිරිතදිග සංවර්ධන තීරුව මහනුවර සිට වැල්ලවාය දක්වා ව්‍යාප්ත වෙනවා. මධ්‍යම, වයඹ, සබරගමුව, බස්නාහිර, දකුණු සහ ඌව පළාත් ආර්ථික තීරුවක් ලෙස දියුණුවට පත්වීමට නියමිතයි. විශාලතම ආර්ථික කලාපය වන්නේ බස්නාහිර මහා නගරයයි. ලක්‍ෂ 85 ක් ජීවත් වන නගරයක් බවට එය පරිවර්තනය කරනවා. මෙරට සීමාවෙන් පිට මූල්‍ය නගරයක් ද එහි බිහි වෙනවා.කර්මාන්ත මෙන්ම නවීන කෘෂිකර්මය, ධීවර, නිවාස ගොඩනැගිලි සහිත ආර්ථික කලාප අප බිහි කරනවා. මේ සංවර්ධන කාර්යයේදී ලංකා ජනගහනයෙන් 70% ක්ම පමණ ආදායම් මාර්ග ලැබෙනවා. රටේ අනෙක් අය අමතක කරලා නැහැ.

ඊසාන දිග ප්‍රදේශයට ත්‍රිකුණාමලය සම්බන්ධ කරගෙන දියුණුවක් ලබා දෙනවා. හම්බන්තොට දියුණු කරන්න අපට චීන ආධාර ලැබෙනවා. මහනුවරට ජපන් ආධාර ලැබෙනවා. සිංගප්පූරුවේ, ඉන්දියාවේ ආධාර ලැබෙනවා. ආසියාවේ ප්‍රධාන රටවල් 4ක් එකතු කරගෙන අපේ ශක්තියද ලබාගෙන මේ වැඩකටයුත්ත කරනවා. විජිතමුණි සොයිසා ඇමැතිතුමත් කියූ පරිදි සුද්දන් නැති කළ වෙල්ලස්ස, විශාල ආර්ථික බලවේගයක් කරන්න උපකාර කරන සැමට ස්තුති කළ යුතුයි. අප දැන් බලගතු ශ්‍රී ලංකාවක් ඇති කරන ගමන අරඹා තිබෙනවා. ඒ යන ගමන කිසිවකුට නවත්වන්න බැහැ. දියුණු රටවල් සේ ශක්තිමත් ස්ථිර ආඩම්බර විය හැකි අනාගතයක් ආරම්භ කරනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. “



එමෙන්ම පසුගිය දා ගම්පහ පැවති උත්සවයක් අමතමින් ඒ මහතා කියා සිටියේ,

සණස මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයට තිබෙන්නේ එකම වයසක්. 1978 වසරේදී ජෝෂප් මයිකල් පෙරේරා ඇමතිතුමා මෙන්ම මමත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන් හමුවට ගොස් කොළඹ දිස්ත්‍රික්කය විශාල වැඩි හෙයින් ගම්පහ දිස්ත්‍රික්කය වෙන් කර දෙන ලෙසත් වෙළෙඳ කලාප සමග ගම්පහ දියුණු කරන බවත් පැවසුවා. එවිට එම පළාතේ අගනුවර විය යුත්තේ මීගමුවද ගම්පහද යන ප්‍රශ්නය පැන නැගුනා. ගම්පහ ප්‍රධාන නගරය ලෙස නම් කරන ලෙස අප ඉල්ලා සිටියා. කිරිවන්දෙනිය මහතාත් මෙහි පැමිණ සණස ව්‍යාපාරය ඇති කළේ ඒ යුගයේදීය.

දැන් සණස වගේම ගම්පහත් දියුණු වෙලා. එකක් ලංකාවේ විශාලතම ජනාකීර්ණ දිස්ත්‍රික්කය බවට පත්වෙලා. අනෙක පොදු ජනතාවගේ ඉතිරිකිරීම් සහිත ඉතා සාර්ථක සංගමයක් බවට පත් වෙලා. අද මෙම වෙළෙඳ සංකීර්ණයේ එක්වී ඇත්තේ ඒ අංශ දෙකයි. ගම්පහ දිස්ත්‍රික්කයට නියම වෙළෙඳ සංකීර්ණයක් පළමු වතාවට ලබාදී තිබෙනවා. මෙහි පළමු අදියරේ සාප්පු සංකීර්ණ 200කුත්, දෙවැනි අදියරේදී සංකීර්ණ 300කුත් ඇති බව අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රිතුමා පැවසුවා. මෙහි ශක්තිමත් මධ්‍යම පාන්තික පිරිසක් බිහිවුනේ අප  1977 වසරේ විවෘත ආර්ථිකයක් ඇතිකළ පසුවයි. විවෘත ආර්ථිකයක් නැතිනම් මෙවැනි දියුණුවක් නැහැ. 1977 ට පෙර ගම්පහ පැවති තත්වය පැරැන්නන් දන්නවා. අද විවෘත ආර්ථිකය නිසා විශාල ගොඩනැගීමක් සිදුවී තිබෙනවා.

වත්මන් ලංකාවේ ධනවත්ව සමාගම කුමක්ද ? ජෝන් කීල්ස් ද? හේලිස්, ඇක්සස් මේ එකක්වත් නොවෙයි. ධනවත්ම වාණිජ සංවිධානය වන්නේ සේවක අර්ථසාධක අරමුදලයි. එහි වත්කමෙන් මේ සමාගම් සියල්ල මිලදී ගැනීමට ශක්තියක් තිබෙනවා. සේවක බාරකාර අරමුදල ඊළඟට තිබෙනවා. ජාතික ඉතිරි කිරීමේ බැංකුව රාජ්‍ය අංශයෙන්ද රාජ්‍ය නොවන අංශයෙන්ද සණස ව්‍යාපාරයද ශක්තිමත් ආයතන ලෙස හදුන්වාදිය හැකියි.මේ සියල්ල ඇති වුනේ විවෘත ආර්ථිකයක් සමග ජනතාව අතට ලැබුණු මුදල් නිසායි. එදා අප  මහවැලිය ඇරැඹුවා. එයින් ව්‍යාපෘති රාශියක් ඇරඹුණා. වෙළෙඳ කලාප දෙකක් ඇති කළා. අගනුවරක් ඉදිකළා. රටපුරා නිවාස ඉදිකළා. මහපොළ ශිෂ්‍යත්ව ලබා දුන්නා. අපට එවැනින වේගවත් ගමනක් අවශ්‍ය වුණා. නිදහස නොදුන් රටවල් අතර දියුණු වීමේ තරඟයෙන් අප ඉදිරියෙන් සිටියා. එහෙත් වසර තිහක බෙදුම්වාදී යුද්ධය නිසා ශීඝ්‍ර සංවර්ධන ගමන කැඩුනා. යුද්ධය අවසන් වූ පසුවත් වසර පහක් අප විශාල ලෙස ණය ගත්තා. යුද්ධ කාලයට වඩා දෙගුණයක් ණය ගත්තා. ණය බර නිසා අප වැටුණා. එක් අතකින් යුද්ධය නිසා සංවර්ධන වේගය කැඩුනා. අනෙක් අතින් ණය බරින් රට කඩා වැටුණා.

එතැනින් මේ රට ගොඩ ගෙන තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් ලබා දෙන්න, හොඳ අධ්‍යාපනයක්, අනාගතයේ හොඳ රැකියවක් ලබා දෙන්න අවශ්‍ය කරන දියුණු ආර්ථිකයක් උදා කරගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් සමග එක්ව අප ආණ්ඩුවක් ඇතිකර තිබෙනවා. දැන් අප ශීඝ්‍ර සංවර්ධනයක් අරඹා තිබෙනවා. සංවර්ධනය ආණ්ඩුවේ යුතුකමක් පමණක්දැයි ලලිත් ජයසූරිය මහතා විමසුවා. එය ආණ්ඩුවේ යුතුකමක් පමණක් නොවේ. සංවර්ධනය ඇති කිරීම සඳහා සියලූම දෙනා එකතු විය යුතුයි. සීඝ්‍ර සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අරමුණ කුමක්ද ?පාරිභෝගික සමිතියක් ඇති කිරීම, මධ්‍යම පන්තිය ව්‍යාප්ත කිරීම, හොඳ ආදායම් ලබාදීම අපේ අරමුණයි. ඊට නාගරික ආර්ථිකයක්, ග්‍රාමීය ආර්ථිකයක් ශක්තිමත් කළ යුතුව තිබෙනවා. ඒ වැඩකටයුත්ත කිරීම සදහා ආණ්ඩුවක් දේශීය සහ විදේශීය ආයෝජකයනුත්, අපේ ජනතාවගේ ඉතිරිකිරීම්, මුදල් එකතු කරගෙන අපි සැවොම හවුල්වී මේ ගමන යා යුතුයි. ආණ්ඩුව ඒ සදහා අනුගමනය කරන පිළිවෙල කුමක්දැයි පැහැදිලි කළ යුතුයි.සංවර්ධනය කොහිදැයි වසරක් ගතවූ පසුව ඇතැමුන් විමසුවා. පක්ෂ දෙකම එක්වූ නමුත් සංවර්ධනයක් නැති බව පැවසුවා.

අප සංවර්ධනයට  අඩිතාලම් දමා තිබෙනවා. අපේ ආර්ථිකය දෙස අවධානය යොමු කළ විට ගෙවුම් ශේෂයේ විශාල ප්‍රශ්න තිබුණා. ආනයන භාණ්ඩ සදහා ගෙවීමට අපනයන ආදායම ප්‍රමාණවත් නැහැ. එසේ නම් මෙරටට ආයෝජන ගෙන ඒම සදහා අඩිතාලමක් සකස් කළ යුතුව තිබෙනවා.අප උත්සාහ කළේ ඒ අඩිතාලම සකසන්නයි. පළමුවෙන්ම දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින් මෙහි කැදවාගත යුතුයි. එමෙන්ම මෙරට ණය බර නිසා අපේ ආදායමෙන් වියදම පියවා ගන්නට නොහැකි වුණා. ආණ්ඩුවේ දෛනික වියදමට මුදල් තිබුණේ නැහැ. අඩු ගණනකින් රජයේ ආදායම වැඩිකර ගත යුතුයි. අප ක්‍රියාත්මක කර ඇත්තේ මේ වැඩසටහනයි.අප මේ වනවිට සංවර්ධන ව්‍යාපාරයේ පළමු පියවර ගෙන තිබෙනවා. ජපානයේ සුන් සු ගේ යුද උපක්‍රම පිළිබඳ සිංහල පරිවර්තනයක් මම අද පිළිගැන්වූවා.එම ග්‍රන්ථයෙන් පළමුවෙන්ම කියන්නේ යුද්ධයට සූදානම් වන ලෙසයි. හරියට උපක්‍රම යෙදුවොත් සටන් නොකර යුද්ධය ජයගත හැකි බව එහි දැක්වෙනවා.

සංවර්ධන යුද්ධය ජය ගැනීම සඳහා අපත් පළමුවෙන් කළේ උපක්‍රම යොදා ගැනීමයි.  ජාතික ආණ්ඩුවක් හැදුවත් කළේ කුමක්දැයි කියමින් මේ අය කෑ ගැසුවා. දැන් අප සංවර්ධනය පටන්ගෙන තිබෙනවා. ඇයි මේ සංවර්ධනය කරන්නේ කියා ඔවුන් දැන් අපෙන් අහනවා.විශාල සංවර්ධනයක් කිරීම සඳහා ලංකාවේ මුදල් ප්‍රමාණවත් නැහැ. ලංකාවේ  විශාලතම ආයෝජකයන්ගේ මුදල් යෙදුවත් දියුණුවක් ඇති කිරීම සදහා එය ප්‍රමාණවත් නැහැ.අපට විදේශ ආයෝජන අවශ්‍යයි. විදේශ මුදල්, දැනුම අවශ්‍යයි. ඒවා යොදාගත යුතුයි. ඉදිරියට ගමන් කළ යුතුයි. 1977 වසරේ පේ‍ර්මදාස අගමැතිතුමා සමග මා චීනයට ගියා. එදා චීනයේ මේ දියුණුව තිබුණේ නැහැ. එකල චීන ජනතාව මාඕ සේතුංගේ ඇඳුමක් ඇදගෙන සිටි හැටි අපට මතකයි. බීජිං නගරයේ බටහිර මට්ටමේ එක ආපන ශාලාවක්වත් තිබුණේ නැහැ.

අද චීනයේ විශාල සංවර්ධනයක් සිදුවී තිබෙනවා. ඒ ඇයි. ඔවුන් පටන්ගත් සංවර්ධනය කැඩුනේ නැහැ. වියට්නාමය, ඉන්දියාව සීඝ්‍ර සංවර්ධනයකට ගමන් කර තිබෙනවා. අප සංවර්ධන වැඩසටහන කරන්නේ ඒ සියලූ දෙනා සමග සාකච්චා කරලයි.සම්පූර්ණ බස්නාහිර පළාතම විශාල නගරයක් බවට පත් වෙනවා. බස්නාහිර මහා නගර සංවර්ධනය සදහා යොදාගත් සිංගප්පූරු සමාගම ඉන්දියාවේ අමරාවති නගරය සකස් කිරීමටත්, යොදා ගන්නා බව ආන්ද්‍රා ප්‍රදේශ ප්‍රධාන අමාත්‍යතුමන් අප සමග පැවසුවා.වැඩිම දියුණුව වන්නේ මේ ප්‍රදේශයටයි. මධ්‍යම  අධිවේගි මාර්ගය මෙහි සිට කොස්සින්නට ගමන් කරනවා. එහි විශාල නගරයක් නිර්මාණය වීමට නියමිතයි.

කොස්සින්නේ සිට පොතුහැරටත්, රඹුක්කනටත්, ගලගෙදර සිට මහනුවරටත්, මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කෙරෙනවා. එමෙන්ම මහනුවර නගරය විශාල කිරීම සදහා ජපානයේ උපකාරය අපට තිබෙනවා. එසේ නම් පැයක් ඇතුලත මෙහි සිට මහනුවරට ගමන් කළ හැකියි. සණස ගම්පහ සාප්පු සංකීර්ණ හැදු අයුරින්ම දියුණුවට පත්වන සෙසු ප්‍රදේශවලත් සාප්පු සංකීරණ ඉදිකළ හැකියි. මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අපට ආයෝජන අවශ්‍යයි.

දකුණේ හම්බන්තොට නොදියුණුම ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයටත් විශාල ආයෝජන ඇති වෙනවා. මොණරාගල විශාල දියුණුවක් ඇති වෙනවා. හම්බන්තොට වරාය පසුගිය රජයෙන් ඉදිකළා. එය ආණ්ඩු කීපයක්ම යෝජනා කළා. මමත් යෝජනා කළා. නමුත් වරාය ඉදිකිරීමෙන් එහාට යාමට අපට නොහැකි වුණා. සිතූ පරිදි ණය ගෙවීමට නොහැකි වුණා. ආයෝජකයන් ආවේ නැහැ. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති වූ පසුව ඒ මහතාත් මමත් චීනයට ගොස් කතා කළා. දැන් විශාල වැඩසටහනක් එහි ආරම්භ කිරීමට නියමිතයි. ඊළඟ වසර පහළොව ඇතුලත වරාය මෙන්ම මත්තල ගුවන් තොටුපොළ ලාභ ලබන ආයතන බවට පත් කරනවා. එවිට සිදු වන්නේ කුමක්ද?

මහනුවර සිට වැල්ලවාය දක්වා විශාල සංවර්ධන තීරුවක් ඇති කරනවා. නිරිතදිග සංවර්ධන තීරුව ලෙස එය නම් කර තිබෙනවා. එම කලාපයේ ගුවන් තොටුපොළ දෙකක් සහ වරායන් දෙකක් තිබෙනවා. එහි මධ්‍යයේ විශාල සංවර්ධනයක් ඇති කිරීමට නියමිතයි. කොළඹ වරායෙන් සහ කටුනායක ගුවන් තොටුපොළෙන් වර්තමානයේ සංවර්ධනය ගලා එනවා. මත්තල සහ හම්බන්තොට වරාය සංවර්ධනය කළ විට ආයෝජන තවත් වැඩි වෙනවා. එහි තෙල් පිරිපහදු ඉදිකිරීමට අප දැන් සාකච්ඡා කරනවා. පළමු ආයෝජකයා ලෙස අප ලාංකිකයෙකු අනුමත කර තිබෙනවා. ඒ සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහායි. එමෙන්ම චීන ආයෝජකයන්ද එහි පැමිණෙනවා. තවත් තෙල් පිරිපහදුවක් ඉදි කිරීමටත් නැව් තටාංගනයක් සඳහාත් ඉල්ලූම් කර තිබෙනවා. තවත් විශාල ආයෝජකයන් පැමිණීමට නියමිතයි.

අප වෙළඳ කලාප කීපයක් ඇති කළා. තරුණ තරුණියන් සඳහා අප සුළු රැකියා නොව වෙළඳ ආදායමක් ලැබිය හැකි රැකියා ලබාදෙනවා. මධ්‍යම පන්තිය ව්‍යාප්ත කරනවා. එමෙන්ම කඩා වැටුණු ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරනවා. මේ දියුණුවත් සමඟ කෘෂිකර්මය අතහරින්නැයි මා කියන්නේ නැහැ.අප නවීන කෘෂිකර්මාන්තය ද හඳුනාගත යුතුයි. මල් වගා කර පිටරට යැවීමට යොමු විය යුතුයි. රැකියා ආදායම් මාර්ග සෙවිය යුත්තේ ඒ අංශ වලිනුයි.යුද්ධය නොමැතිව මහවැලි ව්‍යාපාරය ඉදිරියට ගෙනගියා නම් අද ත්‍රිකුණාමලය විශාල නගරයක් බව කිව යුතුයි. යුද්ධය නිසා එය සිදුවුනේ නැහැ.සිංගප්පූරුව සමඟ එක්ව එම දියුණුව ගැන සැලසුම් කරන්නට අද අප කතා කරමින් සිටිනවා. ඉන්දියාව සහ ජපානය සමගත් සාකච්ඡා කරනවා. ත්‍රිකුණාමල සංවර්ධනයත් ජනාධිපතිතුමන්ගේ පුබුදමු පොළොන්නරුව වැඩසටහන් එකතු කළ විට විශාල සංවර්ධනයක් ඇති වෙනවා. සංචාරකයන් සඳහා අවශ්‍ය තරම් වෙරළ තීරයක් තිබෙනවා. එහි හෝටල ඉදිකළ හැකියි. මේ සංචාරක කලාපවල සේවය කරන්නේ ලාංකිකයන්.කුලියාපිටිය, බිංගිරිය ප්‍රදේශවල අක්කර 700 ක පමණ වෙළෙඳ කලාපයක් ඉදිකිරීම පිළිබඳව අප සාකච්ඡා කරනවා. කළුතර තවත් සංවර්ධන කලාපයක් ඇති කරනවා.

ඉරනවිල ඇමරිකන් හඬ සංවිධානය නැවත රජයට බාරදුන් පසුව එහි අක්කර 400 ක තවත් විශාල සංචාරක සංකීර්ණයක් ඉදිකරනවා. මේ පසුබිමෙන් ඉදිරියට ගමන් කිරීමට නම් පෞද්ගලික ආයෝජකයන් සොයාගත යුතුයි. විශාල මෙන්ම කුඩා සමාගම් බිහිවිය යුතුයි. ලක්‍ෂ 10, ලක්‍ෂ 20 ආදී මුදලකින් ආයෝජන අරඹන අය තව අවුරුදු දහයකින් කෝටිපතියන් වේවි.සියලූම දෙනාම එක්වන්නැයි කියන්නේ ඒ දියුණුව ඇති කිරීම සඳහායි.අප ජාතික ආණ්ඩුව බිහි කළේ ඇයි? ඊළඟ මැතිවරණයේදී අප සියලූ දෙනා එකට එන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය අතර තිබූ සටන අප කවුරුත් දන්නවා. කවුරු ජයගන්නත් අපේ ප්‍රතිපත්ති වෙනස් නොවන බව ආයෝජකයන් වටහාගත යුතුයි. ලංකාවේ තිබූ ලොකුම දුර්වලකම ප්‍රතිපත්ති වෙනස් වීමයි. ස්ථාවර ප්‍රතිපත්තියක් ඇති කිරීමේ වාසිය මේ රටේ අනාගත පරපුරටයි. ඒ වැඩසටහන සඳහා සණස වැනි ව්‍යාපාරද එක්විය යුතුයි.සණස වැනි ව්‍යාපාර විශාල වැඩ කොටසක් කර තිබෙනවා. අනාගතයේත් ඒ සේවය කරාවි.

මේ දියුණුව ස්වල්ප දෙනෙකුට කෝටිපතියන් වීමට නොවේ. අපේ අරමුණු මධ්‍යම පාන්තිය ව්‍යාප්ත කිරීමයි. සෑම දෙනාම එක්ව ජය ගැනීමටයි. වෙළඳ ආර්ථිකයෙන් සමාජ සාධාරණත්වයක් ඇති කිරීමයි. එවිට ශක්තිමත් මධ්‍යම පන්තියක් බිහිකරගත හැකියි. ග්‍රාමීය ජනතාවගේ ආර්ථික තත්ත්වයත් ශක්තිමත් කරගත හැකියි. සණස ඒ වැඩකටයුත්ත හොදින් කරනවා. ඒ ජනතාවගේ මුදල් ආයෝජනය කරනවා.විදේශ ආයෝජකයන් එනවිට එහි වාසිය ලබන්නේ දේශීය ආයෝජකයන් බව අප මතක තබාගත යුතුයි. විදේශ ආයෝකයකු පැමිණ හෝටලයක් ඉදිකළොත් ඊට වාහන අවශ්‍යයි. බඩු භාන්ඩ, සේවා සපයන්නන් අවශ්‍යයි. ඒ අවශ්‍යතා සැපයිය යුත්තේ ලාංකිකයනුයි.

හම්බන්තොට අලූත් තෙල් පිරිපහදුවක් ඉදිකළ පසුව අවශ්‍ය සේවා සපයන්නේ කව්ද? බවුසර් යොදවන්නේ කව්ද? චීනයෙන් හෝ ඉන්දියාවෙන් නොවේ. අපේ ජනතාවයි. ත්‍රිකුණාමලය දියුණු වුවහොත් එහි වාසිය ඉන්දියාවට හෝ ජපානයට නොවේ. ඒ අය පැමිණ ආයෝජන කරාවි. නමුත් ඒ ආයෝජන හරහා තවත් කී දෙනෙකු දියුණු වෙනවාද?
ජනතාව අතේ මුදල් ගැවසෙන විට සෙසු අයත් සණස මෙන් සාප්පු සංකීර්ණ ඉදිකරාවි.පාරිභෝගිකයා ශක්තිමත් වීමත් සමඟ දේශීය ආයෝජකයා සහ ව්‍යපාරිකයා ශක්තිමත් වෙනවා. විශාල මුදල් අවශ්‍ය නැහැ. ඔබ සියලූ දෙනා එක් වුවහොත් ඒ වැඩකටයුත්ත කළ හැකියි.ගම්පහ වෝඩ් සිටි සාප්පු සංකීර්ණ ඇරඹිම පිළිබඳව මා සණස ව්‍යාපාරයට ස්තුතිය පුද කරනවා. එමෙන්ම ගම්පහ දියුණු කිරීමට අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීතුමන් විශාල ලෙස උනන්දු වෙනවා.

බස්නාහිර මහා නගර වැඩසටහන යටතේ මේ ප්‍රදේශය සීඝ්‍රයෙන් දියුණුවීමට නියමිතයි. සමහරවිට ගම්පහ, උඩුගම්පොළ, යක්කල ප්‍රදේශ එක් විශාල නගරයක් බවට පත්වේවි. කිරිබත්ගොඩ, සපුගස්කන්ද, දළුගම ප්‍රදේශවල දැන් සිදුවන්නේ ඒ ක්‍රියාවලියයි.සියලූ මන්ත්‍රීවරුන්ද තම ආසනය දියුණු කරන්න. අප ඒ සඳහා උදව් කරන්නම්. ආණ්ඩුවේ හිටියත් විපක්‍ෂයේ හිටියත් කව්රුන් හෝ තම ප්‍රදේශය දියුණු කරනවා නම් එය රටේ අනාගත පරපුරට කරන සේවයක් බව කිව යුතුයි. ඒ සේවය සඳහා අප උපකාර කළ යුතුයි.

මේ අතර අද දිනයේ ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් අදහස් දැක්වූ අගමැතිවරයා,

අද සජිත් ප්‍රේමදාස ඇමතිතුමා 50 වැනි උපන් දිනය සමරනවා. එනිසා සියලූ දෙනා වෙනුවෙන් අප එතුමන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. එතුමන්ගේ උපන්දිනය මෙන්ම තවත් අරමුණක් මූලික කර ගනිමින් මේ ගම්මානය ආරම්භ කර තිබෙනවා. ගජසමරගම යනුවෙන් එම ගම්මානය නම් කර තිබෙනවා. එම නම යොදා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට වසර 70ක් පිරීම සැමරීම සඳහායි. එනිසා නිවාස 70ක් ඉදි කර තිබෙනවා. සජිත් ප්‍රේමදාස ඇමතිතුමන්ගේ උපන්දිනය පමණක් තේමා කර ගෙන නිවාස ඉදිකළා නම් ඉදි වන්නේ නිවාස 50ක් පමණයි.

මේ නිවාස තව තවත් දියුණු කිරීමටත් ආරක්ෂා කිරීමටත් ඔබට ශක්තිය ලැබේවා යැයි මා ප්‍රාර්ථනා කරනවා. අද මේ නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත්තේ සීඝ්‍රයෙන් දියුණුවට පත්වන ප්‍රදේශයකයි. එමනිසා මේ නිවාස ආරක්‍ෂා කර ගන්නා ලෙස සැමගෙන් ඉල්ලා සිටිනවා. අනාගතයේදී මේ නිවාසවල වටිනාකම මීටත් වඩා වැඩි වෙනවා.
සජිත් ප්‍රේමදාස ඇමතිතුමන් එතුමන්ගේ පියාගේ අඩි පාරේ ගොස් රට පුරා නිවාස ව්‍යාපෘති ඉදි කිරීමට පටන් ගෙන තිබෙනවා. ඒ අනුව මෙවැනි ගම්මාන 244ක් රට පුරා ආරම්භ කර තිබෙනවා. මෙරට විශාල නිවාස ප්‍රශ්නයක් තිබෙනවා. යුද්ධය නිසා උතුරු නැගෙනහිර නිවාස සම්පූර්ණයෙන්ම විනාශ වුණා. එමෙන්ම වතුකරයේ ජනතාව සඳහාත් නිවාස අවශ්‍යයි. කොළඹපැල්පත් වාසීන්ගේ ප්‍රශ්නය විසදා ගැනීම සඳහාත් අවධානය යොමු කළ යුතුයි. ග්‍රාමීය සහ මැද පන්තියේ නිවාස යෝජනා ක්‍රම ව්‍යාප්ත කිරීම පිළිබදවද රජයේ අවධානය යොමු වී තිබෙනවා.

මධ්‍යම පන්තිය දියුණු වීමත් සමගම තවත් වැඩි වැඩියෙන් නිවාස ඉදි වෙනවා. මෙරට ග්‍රාමීය ආර්ථිකය දියුණු වීමත් සමග එම ජනතාවටත් නිවාස අවශ්‍යයි. මෙම දැවැන්ත නිවාස ව්‍යාපෘති ආරම්භ කර ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි. එම නිවාස ඉදි කිරීමේ බර දරා සිටින සජිත් ප්‍රේමදාස ඇමතිතුමාටත් එතුමාගේ නිලධාරි මණ්ඩලයටත් ප්‍රශංසාව පළ කරනවා. අමාත්‍යාංශය සමග එක්ව අපගේ නිවාස වැඩසටහන ඉදිරියේදීත් සැලසුම් කර තිබෙනවා.
මේ සතිය හම්බන්තොටට හොඳ සතියක් බව කිව යුතුයි. ඉකුත් සෙනසුරාදා දින හම්බන්තොට දියුණුවේ මූලික අංගයක් වන රුහුණු සංවර්ධන කලාපයේ විවෘත කිරීම සිදුවුණා. එමෙන්ම සජිත් ප්‍රේමදාස ඇමතිතුමාගේ උපන් දිනය දාම අපට ජී. එස්. පී. ප්ලස් බදු සහනය ලැබුණා. එමනිසා කර්මාන්තශාලා, වරාය මෙන්ම අපනයන කර්මාන්ත වෙනුවෙන් යුරෝපයේ මිලියන 500කින් සමන්විත වෙළෙඳ පොළක් නිර්මාණය වී තිබෙනවා.  එම වෙළෙඳ පොළෙන්   අප වැඩක් ගත යුතුයි. ජී.එස්.පී. ප්ලස් සහනයේ සම්පූර්ණ වාසිය අපට ලබා ගැනීම සඳහා තවත් සුළු වැඩ කටයුතු කිහිපයක් කළ යුතු හෙයින් මෙම ස්ථානයෙන් ඉක්මනින් පිටවී යාමට මට සිදු වෙනවා.

සංවර්ධනය යනු මෙයයි. අප නිකරුණේ කාලය ගත කළේ නැහැ. රට භාර ගත් පසුව ආර්ථිකය නැංවීම සඳහා කටයුතු කළා. අප සංවර්ධනය අරඹන්නේ ආර්ථිකය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීමෙන් පසුවයි. හම්බන්තොට සංවර්ධනයේ මූල ධර්මය අප කිසිවකුත් ප්‍රතික්ෂේප කර නැහැ. 2002 වසරේදී මෙහි සංවර්ධන ක්‍රම පිළිබදව අප යෝජනා ඉදිරිපත් කළා. ඉන් පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මෙහි සංවර්ධන වැඩ ඇරඹුවා. නැවත මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන් යටතේ මෙහි සංවර්ධන ආරම්භ කර තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජය යටතේ ගත් ණය අපට විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා. ඒ ණය ගෙවීම විශාල ප්‍රශ්නයක්. හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපල වෙනුවෙන් ණය ගෙවීම සඳහා ඩොලර් මිලියන් 1800ක් 1900ක් පමණ වැය වෙනවා. ඒ ණය ගෙවීමට අපට මුදල් නැහැ. අප ජනතාවට බදු බර පටවා ඒ ණය  ගෙවනවාද යන ප්‍රශ්නය අපට ඇති වුණා. නමුත් ජනතාව පිට තවත් බදු පැටවීමට හැකියාවක් නැහැ. එලෙස මුළු රටටම බදු පැනවුවහොත් අපි ගෙවන්නේ හම්බන්තොට ණය යැයි කියමින් සෙසු ප්‍රදේශවල ජනතාව ෙදාස් කියනවා. ලංකා රජය සහ චීන සමාගම  එක්ව ක්‍රියාත්මක කරන වැඩ සටහන තුලින් ඩොලර් මිලියන දහසකට වඩා මුදලක් බේරා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ කරුණ නිසා ජනතාව මත තවත් බදු පැනවීමට තිබූ අවශ්‍යතාවය නැතිව ගියා. මත්තල ගුවන් තොටුපලත් හවුල් ක්‍රමයට ක්‍රියාත්මක කරන්නේ ජනතාවගේ බදු බර අඩු කිරීම සඳහායි.
දැන් අප සංවර්ධන යුගයක් අරඹා තිබෙනවා. අප සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ සැලසුමකට අනුවයි. මේ ප්‍රදේශ දියුණු කිරීමට නම් කර්මාන්තශාලා 2000ක් පමණ අවශ්‍යයි. ඒ සඳහා ඉඩම් වුවමනා වෙනවා. කෘෂිකාර්මික දිවි පෙවෙතට බලපෑමක් නොවිය යුතු නිසා හැම තැනකම කර්මාන්තශාලා ඉදි නොකර එක් එක් කලාප වෙන් කර කම්හල් ඉදි කිරීමට අප තීරණය කළා. එමෙන්ම කම්හල් ආශි්‍රතව ගබඩා පහසුකම්, සේවකයින් සඳහා නිවාස පහසුකම් ආදිය අවශ්‍යයි.  එමෙන්ම ඔවුන් සඳහා වෙළෙඳ සංකීර්ණ ඉදි කළ යුතුයි. ක්‍රීඩා සංකීර්ණ, කුඩා දරුවන් සඳහා පාසල් ඉදි කිරීම සඳහා පළාත් සභාවලට ඉඩම් වුවමනායි. මේ සියල්ලම සළකා බලා හම්බන්තොට නගරයේ දියුණුවට අපි ඉඩම් ප්‍රමාණයක් වෙන් කළා. කාටවත් තනියම දියුණු වෙන්න නොවේ. සියයට 95ක්ම ආණ්ඩුවේ ඉඩම්වලින් මෙය සිදු කළ හැකියි.

මේ ගැන විරෝධතාවයක් ඇති වුනා. මා තිස්සමහාරාමයේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු ප්‍රධාන ස්වාමීන් වහන්සේලා මුණ ගැසුණා. එදා මේ වැඩසටහනට එකඟතාවයකට පැමිණියා. හම්බන්තොටින් ලබා ගත යුතු ඉඩම් ප්‍රමාණය තීරණය කිරීමට චමල් රාජපක්ෂ මහතාට සහ අමාත්‍ය සාගල රත්නායක මහත්වරුන්ට පැවරුවා. සංඝයා වහන්සේලා සමග සාකච්ඡා කරන ලෙස මා චමල් රාජපක්ෂ මහතාට පැවසුවා. විජිත් විජිතමුණි සහ රංජිත් මද්දුමබණ්ඩාර යන ඇමතිවරුන් කර්මාන්ත පුරයට අක්කර 15000ක්ම මොණරාගලින් සොයා දෙන්නම් යැයි කිව්වා. කොටසක් මොණරාගලට සහ කොටසක් මාතරට දාමු යැයි යෝජනා වුණා. කර්මාන්ත පුරය පොළොන්නරුවට ගේන්න යැයි ජනාධිපතිතුමා ඉල්ලනවා. එස්. බී. දිසානායක අමාත්‍යතුමා නුවරඑළියට ඉල්ලනවා. වජිර ඇමතිතුමා සහ ගයන්න ඇමතිතුමා ගාල්ලට ඉල්ලනවා. ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා නුවරට ඉල්ලනවා.

ඡන්ද ලැබෙන ප්‍රමානය අනුව සලකනවා නම් කර්මාන්ත පුරය ලබාදිය යුත්තේ මහනුවරටයි. නමුත් දුප්පත් ජනතාවක් සිටින්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ. එනිසා හම්බන්තොට විශාල සංවර්ධනයකට ලක් කළ යුතු බවට අප යෝජනා කළා. අප හම්බන්තොට කර්මාන්තපුරය යෝජනා කළේ ඒ අනුවයි. චමල් රාජපක්ෂ මහතා මට කී පරිදි මේ කර්මාන්තපුරය පැමිණි විට මේ නිවාසවල අගය මීට වඩා දස ගුණයකින් වැඩි වෙනවා. එවිට මේ පර්චස් 20ක ඉඩමේ කුලියට දීමට තවත් නිවසක් තැනීමට හැකියාවක් ලැබේවි. අප මේ දියුණුව ඉදිරියට ගෙන යමු.
යහපාලන රජය යටතේ රුහුණට නව දියුණුවක් ලැබෙනවා. තෙල් පිරිපහදුවක් ඉදි වෙනවා. ඩොලර් මිලියන 5000 ක් ආයෝජනය කිරීමට සූදානම් බව චීනය අප සමග පවසා තිබෙනවා. ලාංකිකයකුටද මෙහි සිමෙන්ති කර්මාන්තශාලාවක් ඉදි කිරීමේ අවස්ථාව ලබා දෙනවා.

මෙවැනි දැවැන්ත සංවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක වෙන විට නාමල් රාජපක්ෂ මන්ත්‍රිතුමා කියන්නේ කුමක්ද? මේ පළාතට සංවර්ධනය අවශ්‍ය නැහැ. එම ව්‍යාපෘති පොළොන්නරුවට ගෙන යන්නැයි ඔහු කියනවා. විහාරස්ථානවලට හානියක් නොවී, ජනතාවට හානියක් නොවී රජයේ ඉඩම් කර්මාන්ත සඳහා යොදා ගන්නැයි සංඝයා වහන්සේලා අප සමග පැවසුවා.

හම්බන්තොට කර්මාන්තපුරයට ඉඩම් ලබා ගැනීම සඳහා පත් කෙරුණු ඇමති අනු කමිටුව මේ ප්‍රදේශයේ මහා සංඝරත්නය හමුවී සාකච්ඡා කිරීමට සූදානම් බව මට දැනුම් දුන්නා. තිස්සමහාරාමයට හෝ මත්තලට හෝ ඕනෑම ස්ථානයකට පැමිණීමට ඇමති අනු කමිටුව සූදානමින් සිටිනවා. ඔවුන් සියලූ කරුනු සාකච්ඡා කර මහා සංඝරත්නයට එම කරුණු දැනුම් දීමට නියමිතයි. අප උත්සාහ කරන්නේ සියල්ලන්ම එකතු වී ගමනක් යෑමටයි. කොළඹට, මහනුවරට හෝ යහපාලනය ගෙන ඒමට පළමු පෙරළිය කළ බදුල්ලට මෙම කර්මාන්තපුරය දෙන්නැයි මට කියන්න තිබුණා. නමුත් අප එසේ කළේ නැහැ. එවැනි තත්වයක් තිබියදි නාමල්  රාජපක්ෂ මන්ත්‍රිවරයා මෙම කර්මාන්තපුරය එපා කියන්නේ ඇයි ?

චමල් රාජපක්ෂ මහතා මෙන්ම සාගල රත්නායක මහතා ඉඩම් හඳුනා ගැනීමේ කමිටුවේ සිටිනවා. ඒ අයගේ මතයටවත් මොවුන් එකඟ නැතිද ? ඔවුන් කියන්නේ රැකියා දෙන්න එපා කියලාද ? කර්මාන්තපුර හදන්න එපා කියනවාද? මට නම් මේ ගැන පුදුමයි. ජනතාවට සැබෑ ආදරයක් තිබෙනවා නම් සංවර්ධනයට උපකාර කළ යුතුයි. සංවර්ධනය එපා කියන්නේ කුමන අරමුණකින්දැයි අපට විශාල ගැටළුවක්.

සංවර්ධනය නැවතුණොත් සජිත් ප්‍රේමදාස ඇමතිතුමාට ප්‍රශ්නයක් නැහැ.  දිලිප් වෙදආරච්චි අමාත්‍යවරයාට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ ජනතාවටයි. කඩාකප්පල්කාරීන් බිඳ දමන්නේ තරුණ තරුණියන්ගේ බලාපොරොත්තුවයි.

දැන් අපට ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ලැබී තිබෙනවා. එම සහනයෙන් පළක් නැතැයි මහින්ද  රාජපක්‍ෂ  මහතා පවසා තිබෙනු මා දුටුවා. ජී.එස්.පී. ප්ලස් සහනය ගැන එතුමාට මතක් කර දීමට මා කැමතියි. ජී.එස්.පී. සහනය නොමැතිව අප 2003 වසරේදී අප මසා නිම කළ ඇඟලූම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2500ක් ලබා ගත්තා. බංග්ලාදේශය ඩොලර් මිලියන 5200ක් ලබා ගත්තා. අපට ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය අහිමි වුණා. 2015 වන විට අප ඇඟලූම් අපනයනයෙන් ඩොලර් මිලියන 4800ක් ලබා ගත්තා. ජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගත් බංග්ලාදේශය 2015 වන විට ඩොලර් මිලියන 26600ක් ලබා ගත්තා. ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වීම නිසා අපට වැඩි කර ගත හැකි වූයේ 2500 සිට ඩොලර් මිලියන 4800 දක්වා පමණයි. අඩු ගණනේ ආදායම දෙගුණයකින්වත් වැඩි කර ගැනීමට හැකි වුණේ නැහැ. ජී.එස්.පී ප්ලස් ලබා ගත්  බංග්ලාදේශය ඩොලර් මිලියන 5200 සිට 26600 දක්වා ආදායම වැඩි කර ගත්තා. එමනිසා  අද බංග්ලාදේශයට ගෙවුම් ශේෂය පිළිබදව ප්‍රශ්නයක් නැහැ. ඔවුන්ට අවශ්‍ය බඩු භාණ්ඩ ආනයනය කිරීමට  ඔවුන්ගේ අපනයන ආදායම ප්‍රමාණවත්. නමුත් අපගේ අපනයන ආදායම ප්‍රමාණවත් නැහැ. අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ඉල්ලන්නට සිදුවී ඇත්තේ ඒ නිසයි. ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය තිබීමේ සහ නොතිබීමේ වාසිය එය බව මා මහින්ද රාජපක්ෂ  හිටපු ජනාධිපතිතුමාට මතක් කර දීමට කැමතියි.

මේවාට විරුද්ධ වෙන්නේ ඇයි? මේ සහනවලට විරෝධය පළ කරන්නේ ඇයි ? මේ සහන නිසා රැකියා වැඩි වෙනවා. ආදායම ඉහල යනවා. ඇඟලූම් කර්මාන්තශාලා බොහොමයක් විවෘත කිරීමට හැකිවේවි. අප බලයට පත් වන විට ධීවර තහනමක් තිබුණා. අපගේ මත්ස්‍ය අස්වනු යුරෝපයට යැවීමට හැකියාවක් තිබුණේ නැහැ. එම තහනම ඉවත් කර ගැනීමට අප සමත් වුණා. අපගේ මත්ස්‍ය අස්වනු බහුල ලෙස පිටරට යැවීමට පටන් ගැනීම නිසා මාළු මිල ඉහළ යාම වැලැක්වීම සම්බන්ධයෙන් අපට දැන් සාකච්ඡා කිරීමට සිදුවී තිබෙනවා. මත්ස්‍ය අපනයනය සම්බන්ධයෙන් තිබූ අහිතකර තත්ත්වය මාස අටක් ඇතුළත අප වෙනස් කළා. ධීවර කර්මාන්තය සම්පූර්ණයෙන්ම නවීකරණයට ලක් කිරීම අපගේ අරමුණයි. හම්බන්තොට ධීවරයින්ට විශේෂ වාසියක් අත් වෙනවා. මත්තල ගුවන් තොටුපල දියුණු කළ පසු මත්ස්‍ය අස්වැන්න මෙතැනින්ම පිටරට යැවිය හැකියි. අප එවැනි වැඩසටහනක් නිර්මාණය කර තිබෙනවා. මෙම සංවර්ධන වැඩසටහන්වලට විරුද්ධ වෙන්නේ ඇයි ?

මෙම සියලූම සංවර්ධන කටයුතු කිරීමට හැකි වුණේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් පොදු අපේක්ෂකයා  ලෙස පත් කර ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළ නිසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව අප සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යනවා. ඉදිරියේදී කවුරු බලයට ආවත් අපගේ ප්‍රතිපත්ති වෙනස් වන්නේ  නැහැ. ඇතුලේ යම් වාද විවාද ගියත් අපට ප්‍රශ්නයක් නැහැ. අපගේ අවශ්‍යතාවය රටේ දියුණුවයි. මෙම සංවර්ධන වැඩසටහනට නාමල් රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපතිතුමා විරුද්ධ ඇයි ? ජනතාවට අනාගතයක් ලබාදීම නවත්තන්නට  හදන්නේ ඇයි ? විරුද්ධ වන්නේ මෙම වැඩකටයුතු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මුලිකත්වයෙන් සිදු වන නිසාද ? එමනිසා මෙම කර්මාන්තශාලා මෙම ප්‍රදේශයේ තියන්නද?  වෙනත් ප්‍රදේශවලට ගෙන යන්නද කියා මහින්ද රාජපක්ෂ මහතාගෙන් මා අසනවා. මෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එජාප සහ වෙනත් පක්ෂවල ජනතාව ජීවත් විය හැකියි.  නමුත් සියලූ දෙනා එක්ව දියුණු විය යුතුයි. හම්බන්තොට නායක ස්වාමීන් වහන්සේලා මුණ ගැසී තම විරුද්ධත්වය ඉවත්  කොට මේ කර්මාන්ත පුරය සඳහා සහයෝගය දෙන බවට ප්‍රකාශ කරන ලෙස මා මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිනවා. එම තෑග්ග සජිත් ඇමතිතුමා ලබා දෙන තෑග්ගක් නොවේ. එය මේ ප්‍රදේශයේ අහිංසක පොදු ජනතාවට ලබා දෙන තෑග්ගයි. අද සජිත් ප්‍රේමදාස ඇමතිතුමාට අවුරුදු 50යි. එකල අප ආණ්ඩු හදන විට ඔහු තරුණයෙක්. එක් පැත්තකින් මා මෙහි එන්නට අකමැති වුණා. ඒ මා කොතරම් වයසට ගොස් ඇති දැයි දැනෙන නිසයි. අවසන් වශයෙන් මා සජිත් ප්‍රේමදාස මහතාට දීර්ඝායුෂ පතනවා.