තොරතුරු ලබා ගැනීමේදී මුදල් අය කරන ආකාරය ගැන සාකච්ඡාවක්

තොරතුරු ලබා ගැනීමේදී මුදල් අය කරන ආකාරය ගැන සාකච්ඡාවක්

January 12, 2017   11:19 am



අමාත්‍යංශවල තොරතුරු ලබාගැනීමේදී මුදල් යෙදවෙන ආකාරය පිළිබඳව තොරතුරු කොමිසම සාකච්ඡා කර තිබේ.

තොරතුරු කොමිසම ඊයේ (11) සහ පෙරේදා දිනවලදී රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව කමිටු සාමාජිකයෙකු අද දෙරණ සමඟ සඳහන් කළේය.

පෙබරවාරි තුන්වන දින සිට තොරතුරු පනත ක්‍රියාත්මක කිරීමට රජය මේ වන විට සැලසුම් කර ඇති අතර ඊට අදාළ රෙගුලාසි පැනවීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇත.

කිසියම් තොරතුරක් ඉල්ලා සිටි අවස්ථාවකදී එම  තොරතුරු ලිඛිතව ලබාගන්නේ නම් ඊට අදාළව ගාස්තුවක් අය කිරීමට යෝජනා වී තිබේ.

ලිඛිතව ලබාගන්නා අදාළ තොරතුරුවල මුල් පිටු 03 සඳහා ගාස්තුවක් අය නොකෙරෙන අතර 04 වෙනි පිටුවේ සිට ඊට රුපියල් 05ක ගාස්තුවක් අය කිරීමට යෝජනා වී ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ නොමැති අතර යළි කොමිසම රැස් වී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

තොරතුරු ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය වන අතර මහජනයාට පහසු වන ආකාරයෙන් අදාළ කටයුකු සිදුකළ යුතු බවද තොරතුරු කොමිසම සඳහන් කර සිටියේය.