කුමන චෝදනා නැගුවත් සංවර්ධන කටයුතු නිසි පරිදි කරනවා

කුමන චෝදනා නැගුවත් සංවර්ධන කටයුතු නිසි පරිදි කරනවා

January 12, 2017   10:15 am



සංවර්ධන වැඩපිළිවෙළේදී රජයට කුමන චෝදනා සහ විවේචන එල්ල කළ ද ඒ සියල්ලටම මුහුණ දෙමින් රටට අවශ්‍ය සංවර්ධන කාර්යය නිසි ලෙස ඉටු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

බකමූණ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.

පසුගිය වසර 40කට අධික කාලයක් දේශපාලන වේදිකාවේ පොරොන්දුවක් බවට පමණක් පත් වූ මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව එහිදී ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

මෙරට කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා සැලසුම් සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී රජයක් ලෙස ඉතා විධිමත් සහ කාර්යක්ෂම අයුරින් එම වැඩපිළිවෙළ ඉටු කරමින් සිටින බවද ජනාධිපතිවරයා පවසා ඇත.
 
කාලගුණික හා දේශගුණික තත්ත්වයන් මත ඉදිරියේදී ඇතිවිය හැකි නියඟය හමුවේ ගොවි ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් කුමන ආකාරයෙන් කටයුතු කළ යුතුද යන්න පිළිබඳව මේ වන විට අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

එම තත්ත්වයට මුහුණ දීම සඳහා රජයක් ලෙස ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ අතර අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන් සඳහා ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ දරුවන් 12 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලැබීය.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 10ක් සඳහා සූර්යබල පද්ධති ලබාදීම ද ජනාධිපතිවරයා විසින් සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටියේය.