විනයගරුක තාරුණ්‍යයක් තනන්න වැඩසටහන් රැසක්

විනයගරුක තාරුණ්‍යයක් තනන්න වැඩසටහන් රැසක්

January 10, 2017   01:18 pm


දැනුම කුසලතා හා ආකල්පවලින් පරිපූර්ණ විනයගරුක ක්‍රියාකාරී සහ සමාජශීලී තාරුණ්‍යයක් බිහිකිරීම උදෙසා දිවයින පුරා තරුණ තරුණියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

 ඒ පිළිබඳ විශේෂ වාර්තාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පවත්වා ඇත.

මත්ද්‍රව්‍ය වලින් සමාජයට සිදුවන හානිය පිළිබඳ තරුණ ප්‍රජාව දැනුවත් කිරීමට මෙම වැඩසටහන් ඉවහල් කරගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය.

එමෙන්ම නවීන තාක්ෂණය සහ අන්තර්ජාලය සමාජ යහපත උදෙසා භාවිත කිරීම වැනි කරුණු පිළිබදව ද තරුණ ප්‍රජාව දැනුවත් කිරීමට මෙම වැඩසටහන් ප්‍රයෝජනයට ගත යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

ගුණාත්මක ආහාර පරිභෝජනය, ආහාර සුරක්ෂිතතාව, තිරසර පරිසර සංරක්ෂණය, මත්ද්‍රව්‍ය නිවාරණය, වකුගඩු රෝග පාලනය සහ ළමා සුරක්ෂිතතාව පිළිබද සංවේදී තරුණ පරපුරක් බිහිකිරීම සඳහා තරුණ තරුණියන්ගේ සක්‍රීය දායකත්වය ලබාගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙහි සමාරම්භක වැඩසටහන රට වෙනුවෙන් පිබිදෙන පුලතිසි යෞවනය යන මැයෙන් ලබන 27,28, සහ 29 යන තෙදින පොළොන්නරුවේ දී පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.