ඖෂධ-ශල්‍ය උපකරණ ඉරානයෙන් ආනයනය කිරීමට යයි?

ඖෂධ-ශල්‍ය උපකරණ ඉරානයෙන් ආනයනය කිරීමට යයි?

January 10, 2017   12:28 pm




ඉරානයෙන් ඖෂධ සහ ශල්‍ය උපකරණ මෙරටට ආනයනය කිරීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

මෙරට ඉරාන තානාපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතර පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමුවී ඇති බව සඳහන්ය.
 
එහිදී ඖෂධ නිෂ්පාදනයට ශ්‍රී ලංකාවේ ඇති හැකියාව පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.

ඉරානයේ ඖෂධ නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය සහ ඖෂධ ආනයනය කිරීමේ ගිවිසුමක් 2005 වසරේ දී අත්සන් කෙරුණු අතර 2012 වසරේදී ද එවැනි තවත් ගිවිසුමක් අත්සන් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඉරානය මේ වන විට රටවල් 40කට ඖෂධ අපනයනය කරන බව සඳහන්ය.

ඒ අනුව ඉරානයේ නිෂ්පාදිත ඖෂධ ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට ඇති හැකියාව පිළිබද සොයා බලන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබේ.