නව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රියන්ත ජයකොඩි!

නව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රියන්ත ජයකොඩි!

January 10, 2017   11:40 am




පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස අද (10) සිට නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි පත් කර තිබේ.

ඔහු මීට පෙරද අවස්ථා කිහිපයකදී එම ධූරයේ කටයුතු කළ අයෙකි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අණාවරණය විය.

එසේම පොලිස් කොට්ඨාස 42 සඳහා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරීන් 42 දෙදෙනෙකුද පත්කර තිබේ.

උදෑසන 6.00,  11.00  හා පස්වරු 5.00 ලෙස මින් ඉදිරියට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් පොලිස් ප්‍රවෘත්ති නිවේදන නිකුත් කිරීමට නියමිතය.

එමෙන්ම ඩ්‍රෝන කැමරා සම්බන්ධයෙන්ද නව නීති හඳුන්වාදීමට පියවර ගන්නා බව නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කර ති‍බේ.

 නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස වැඩ බාර ගැනීමෙන් පසුව පැවැති පළමු මාධ්‍ය සාකච්ඡාවේදීම ඔහු මේ බව ප්‍රකාශ කළේය.

හම්බන්තොටදී  නාලිකාවකට අයත් ඩ්‍රෝන කැමරාවක් ආරක්ෂක අංශ නිලධාරීන්ගේ බාරයට ගැනීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවැසුවේ එම අවස්ථාවේදී ඩ්‍රෝන කැමරාවක් භාවිත කිරීම පිළිබඳව අවසරයක් ලබාගෙන නොතිබූ බවත්, ඒ වන විට ප්‍රභූන් විශාල පිරිසක් එම ස්ථානයේ සිටි බවත් ඒ හේතුවෙන් මෙය ආරක්ෂක අංශ බාරයට ගත් බව ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම නව තාක්ෂණය අද වන විට පැමිණ ඇති බවත්, එයට සරිසන පරිද නීතිද වෙනස් විය යුතු බවත් ඔහු වැඩිදුරටත්  ප්‍රකාශ කළේය.

ජාතික, ආගමික, ජාතික මට්ටමේ සිදුවන පුවත් මෙන්ම පොලිස් පුවත් සම්බන්ධයෙන්ද අමාත්‍යංශය ඍජුවම මැදිහත් වන බව නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශ ලේකම් ජගත් පී. විජේවීර මහතා පවසයි.

රටට වැඩදායි මෙන්ම සිත් කුපිත නොවන හා ආගමට ජාතියට හානි නොවන ආකාරයේන් මහජන සාමය වෙනුවෙන් මාධ්‍ය හැසිරවිය යුතු වන්නේ කෙසේද යන්න පිළිබඳවද මාධ්‍යට විශාල වගකීමක් ඇති බව ලේකම්වරයා කියා සිටියේය.

නව මාධ්‍ය සම්බන්ධීකාරක ලෙස ප්‍රියන්ත ජයකොඩි මහතා පත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ලේකම්වරයා කියා සිටියේ රටේ මාධ්‍ය හැසිරවීම කළ යුතු වන්නේ ඉතාමත්ම පරිස්සමෙන් මෙන්ම වගකීමෙන් බවයි.

පොලීසිය විසින් මාධ්‍යයට ලබා දෙන තොරතුරු නිරවද්‍යතාවයක් නොමැතිවීම තුළින් ජනතාවට වැරදි මතයක් ගොඩනැගෙන බවද ලේකම්වරයා එහිදී කියා සිටියේය.

එමෙන්ම ශ්‍රී ලංකාව වඩාත් ආරක්ෂාකාරී හා වඩාත් හොඳ රටක් ලෙස පත් කිරීමට සියලු මාධ්‍ය ආයතන, පොලීසිය සමග සිටින බව තමා විශ්වාස කරන බවද නව පොලිස් මාධ්‍ය සම්බන්ධීකාරක ප්‍රියන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කර තිබේ.

2017 වසරේදී අපරාධ නිවාරණ කිරීමට මහජනතාව මේ වන විට ප්‍රාදේශීය මට්ටමෙන් කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.
 
මාධ්‍ය වෙත තොරතුරු ලබා දීමේදී කරුණු 11 ක් යටතේ තොරතුරු ලබා දීමට කටයුතු කරනු ඇති බවද ඔහු පෙන්වා දුනි.

 තොරතුරු ලබා දීමට කොට්ඨාස මට්ටමෙන් වෙනම පුද්ගලයෙකු පත් කිරීමට කටයුතු කරනු ලබන අතර එය ඉදිරියේදී සිදු කරන බව ඒ මහතා කියා සිටියේය.