සීමා නීර්ණය අභියාචනා වාර්තාව 17දා ලැබෙනවා

සීමා නීර්ණය අභියාචනා වාර්තාව 17දා ලැබෙනවා

January 10, 2017   09:39 am




සීමා නීර්ණය කමිටුවේ අභියාචනා ක්‍රියාදාම වාර්තාව ලබන 17 වනදා තමා වෙත ලැබෙන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා  මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණය සමානුපාතික ක්‍රමයට පැවැත්වීමට කිසිඳු දේශපාලන පක්ෂයක් එකඟ නොවු බව අමාත්‍යවරයා ඊයේ (09) අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේය.

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දේශපාලන පක්ෂ රැසක නායකයින් ඊයේ පස්වරුවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැති අතර එහිදී කිසිසේත්ම සමානුපාතික ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට එකඟ නොවු බව ඔහු අනාවරණ කළේය.

සීමා නීර්ණ වාර්තාවේ කමිටුවේ සාමාජිකයින් පස් දෙනෙකුගෙන් තුන්දෙනෙකු අත්සනින් යුත් කමිටු වාර්තාව තමා පිළිගත්තානම් සිදු වන්නේ එය රටේ නීතිය උල්ලංඝණය කිරීමක් බව ද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

 ඔහු කියා සිටියේ තමා නීතියට අනුව කටයුතු කර අයෙකු බවයි.

සිමා නීර්ණය වාර්තාව ප්‍රකාශයට පත් කළද පවතින නීතිය යටතේ පළාත් පාලනය පැවැත්වීමට නම් සංශෝධන 56 ක් සිදු කළ යුතුව ඇති බව ඒ මහතා කියා සිටියේය.

මේ අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට ලබන 23 වන දිනෙන් පසු යළි රැස්වීමට පක්ෂ නායකයින් තීරණය කර තිබේ.

සීමා නීර්ණ කමිටු වාර්තාව හා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ  අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ‍ඊයේ(09) පැවති පක්ෂ නායක හමුවේ දී මෙම තීරණය ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 පවතින නීතිය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳවත් ඒ යටතේ මැතිවරණය පැවැත්වීමට නම් සංශෝධන 56ක් සිදුකළ යුතු බවට මැතිවරණ කොමිසම ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳවත් එහිදී සාකච්ඡාවට ගෙන තිබේ.
 
ඒ අනුව සියලු දේශපාලන පක්ෂවලට පිළිගත හැකි අන්තර්කාලීන විධිවිධාන සහ අවශ්‍ය නීතිමය සංශෝධන සම්බන්ධයෙන් ජනවාරි 23 වන දිනෙන් පසු අවසන් තීරණයක් ගැනීමට එකඟතාව පළ වී ඇති බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 සීමා නිර්ණ කමිටු වාර්තාව විෂය බාර අමාත්‍යවරයා වෙත බාරදීමත් ඉන් අනතුරුව ගැසට් පත්‍රයේ පළ කිරීමටත් තීරණය වී තිබේ.

අදාළ සාකච්ඡාව සඳහා සීමා නිර්ණය කිරීමේ කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා ඇතුළු සාමාජිකයින් ද සහභාගී වී ඇත.