නාමල්ගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඕනෑ

නාමල්ගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඕනෑ

December 9, 2016   03:24 pm



අග්‍රාමාත්‍යවරයා විසින් හම්බන්තොට වරායේ සේවකයින් අස්කරන්නැයි ප්‍රකාශ නොකළ බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් එහෙව් ප්‍රකාශයක් කර තිබුණද,එහි කිසිදු සත්‍යතාවක් නොමැති බව අමාත්‍යවරයා කියා සිටියේ අද(09)මාධ්‍යවේදීන් පිරිසක් ආමන්ත්‍රණය කරමිනි.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.
 

"අගමැතිතුමා හම්බන්තොට වරායේ සේවකයෝ අස්කරන්න කිව්වා කියලා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මගෙත් නම සඳහන් කරමින් මාධ්‍යවෙත ප්‍ර‍කාශ කරලා තිබුණා. ඒ ප්‍ර‍කාශය මම සම්පූර්ණයෙන්ම ප්‍ර‍තික්ෂේප කරනවා. අගමැතිතුමා එහෙම දෙයක් කිව්වේ නැහැ. මම මේ අමාත්‍යාංශයට එනකොට නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ තාත්තාගේ ඡන්ද ව්‍යාපාරවලට ගිය 582ක් සේවයෙන් ඉවත් කරන්න අපිට තිබුණා. නාමල් රජපක්ෂ මහත්තයා බඳවාගත් දෙසියක ප්‍ර‍මාණයක ළමයි අපිට අස් කරන්න තිබුණා.අගමැතිතුමයි, ජනාධිපතිතුමයි කවදාවත්  ඒක කරන්න කිව්වේ නැහැ. ඒනිසා මේ වගේ බොරු කියලා ජනප්‍රිය වෙන්න උත්සාහ කරන්න එපා.
 

පසුගියදා දිනක නාමල් රාජපක්ෂ මහත්තයා කියලා තිබුණා හම්බන්තොට වරාය හදන්න ගියේ ඩොලර් මිලියන 400 යි කියලා. නමුත් අපේ පොත්වල එම මුදල ඩොලර් මිලියන එක්දහස්  තුන්සිය හතළිස් හතක් විදියටයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ ඩොලර් මිලියන 1000කට කිට්ටු ගාණක් ගැන මේ නාමල් රාජපක්ෂ මහත්තයා දන්නේ නැහැ. මම ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ සම්බන්ධයෙන් ‍ සොයා බලන්න. ඉතිරි ඩොලර් මිලියන 1000 කොහේද ගියේ. සමහරවිට චීනයේ ඇති. අපි දැක්කා හිටපු ජනාධිපතිතුමාත් ගිවිසුම් අත්සන් කළ චින සමාගම් වලට ගියා. මේ නිසා නාමල් මන්ත්‍රීතුමාගේ කථාව ගැන වහාම පරීක්ෂණයක් කරන්න කියලා මම ජනාධිපතිතුමාගෙනුයි අගමැතිතුමාගෙනුයි ඉල්ලා සිටිනවා"