හම්බන්තොට වරාය ගිවිසුම ගැන මලික් මෙසේ කියයි

හම්බන්තොට වරාය ගිවිසුම ගැන මලික් මෙසේ කියයි

December 9, 2016   03:03 pm




රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහාත් නිවැරදි මාර්ගයක රට මෙහෙයවමින් ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීම උදෙසාත් රජයට නිවැරදි හා කාලෝචිත දිගුකාලීන උපායමාර්ග අනුගමනය කිරීමට සිදුව තිබෙන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ආර්ථික වශයෙන් පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර හා ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කිරීම ඉන් එක් ක්‍රමවේදයකි. ඒ අනුව දේශීය හෝ විදේශීය ව්‍යවසායකයන් සමග එළඹෙන්නා වූ ගිවිසුම් යටතේ පාඩු ලබන ආයතන හා ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමට රජයට සිදුවෙයි. එසේ නොවුවහොත් අධික පාඩු ලබන ඇතැම් රාජ්‍ය ආයතන වෙනුවෙන් ණය ගෙවීමට සිදුවනු ඇත්තේ සාමාන්‍ය මහජනතාවටයි. මෙවැනි ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මීට පෙර අප රටට සාර්ථක අත්දැකීම් ද ඇත.

හම්බන්තොට වරාය, චීන රජයට අයත් පෞද්ගලික සමාගමක් සමඟ බද්ධ ව්‍යාපාරයක් බවට පත්කිරීමට රජය පියවර ගෙන ඇත්තේ මේ පසුබිම මතය. එය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ පිහිටවූ හවුල් ව්‍යාපාර සමාගමකි.

හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා මේ වනවිට චීනයෙන් රුපියල් කෝටි 15000 කට වැඩි මුදලක් ගෙන ඇත.  ඒ අනුව ණය වාරික සහ පොලිය ලෙස අතිවිශාල ධනස්කන්ධයක් ගෙවීමට සිදුව ඇතත් හම්බන්තොට වරාය අද පවතින්නේ ලාභ නොලබන තත්ත්වයකය.
 
ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2015 වර්ෂයේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් 31 වැනි දා දක්වා රුපියල් මිලියන 32,202 ක ආදායමක් ලබාගෙන තිබේ. ඉන් 91.15% සියයට උපයාගෙන ඇත්තේ කොළඹ වරායෙනි. එහෙත් එම ආදායම හම්බන්තොට වරාය නඩත්තු කිරීමටත් එහි ණය පියවීමටත් වෙන්කිරීමට සිදුව ඇත.  අදාළ කාල සීමාවේ දී හම්බන්තොට වරායේ මෙහෙයුම් වියදම රුපියල් මිලියන 2597කි. ඊට අමතරව ණය සහ පොලිය සඳහා රුපියල් මිලියන 8482ක් හම්බන්තොට වරාය වෙනුවෙන් ගෙවා තිබේ. එහෙත් එකී කාලය තුළ හම්බන්තොට වරායෙන් ලැබී ඇති සමස්ත ආදායම රුපියල් මිලියන 1730 ක් පමණි.  මෙම තත්ත්වය යටතේ හම්බන්තොට වරාය වෙනුවෙන් පමණක් මෙරට සෑම පුරවැසියෙකුම තවදුරටත් රුපියල් දසදහසක පමණ ණය බරකට හිරකර තිබේ.

රටට සහ ජාතියට ඉමහත් බරක් වී ඇති හම්බන්තොට වරාය ගොඩනගා ගැනීම සඳහා ඇති එකම උපාය මාර්ගය වන්නේ එය ආදායම් උපයන ව්‍යවසායක් බවට පත්කිරීමය.

එම  භාරදූර වගකීම ඉටු කිරීම සඳහා රජය නිවැරදි ආර්ථික ක්‍රමෝපායන් අනුගමනය කිරීමට එළැඹ සිටී. ඒ අනුව රජයේ ඉලක්කය වන්නේ ශ්‍රී ලංකාවේ අයිතිය තහවුරු කර ගනිමින් අනූ නව අවුරුදු බදු ක්‍රමය යටතේ හම්බන්තොට වරාය ආදායම් උපයන ව්‍යවසායකයකු බවට පත්කිරීමයි. එමෙන්ම සුදු අලියෙකු බවට පත්ව තිබෙන හම්බන්තොට වරාය මෙරට ආර්ථිකයේ ප්‍රධාන වාණිජ්‍යය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම ද තවත් අරමුණකි. පෙර අපරදිග ලෝකය යා කරන මධ්‍යස්ථානයක් ලෙසත් මෙරට ආර්ථික සංවර්ධනයේ ප්‍රවේශයක් ලෙසත් දියුණු කර එම වරාය මෙරට සක්‍රීය ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානයක් බවට පත් කිරීම වර්තමාන රජයේ අපේක්ෂාවයි.

එය රටේ තිරසාර සංවර්ධනය ඉලක්ක කර ගැනීමට ඉතා සත්භාවයෙන් ඉටුකරන කාර්යයයක් වන අතර සමහරුන් චෝදනා කරන ආකාරයට හම්බන්තොට වරාය විදෙස් රටකට  විකුණා දැමීමක් හෝ රට පාවාදීමක් නොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදෙයි.







රජයේ නිල පුවත් වෙබ් අඩවිය.