සැප රියෙන් රට දුම්වැටි ඇද්ද පුද්ගලයා අලවතුගොඩදී අල්ලයි

සැප රියෙන් රට දුම්වැටි ඇද්ද පුද්ගලයා අලවතුගොඩදී අල්ලයි

December 9, 2016   12:17 pm


සුඛෝපබෝගී මෝටර් රථයක ප්‍රවාහනය කරමින් තිබූ නීති විරෝධි අයුරින් මෙරටට ගෙන්වන ලද  විදේශිය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අලවතුගොඩ ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගෙන තිබේ.

අලවතුගොඩ නගරයේ සිදු කළ රථ වාහන පරික්ෂාවකදී දුම්වැටි තොගය සමග අදාල පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලිසිය පැවසුවේය.

එහිදී ඔහු සතුව තිබී දුම්වැටි එක්ලක්ෂ පනස් දහසක ප්‍රමාණයක් පොලිසිය භාරයට ගෙන ඇත.

ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 75කට අධික බව අලවතුගොඩ පොලිසිය සඳහන් කළේය.

සැකකරු මාතලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන අතර  මිට පෙර ද ඔහුට එරෙහිව මාතලේ පොලිසිය විසින් විවෘත වරෙන්තුවක් ද නිකුත් කර තිබේ.

ඔහු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර අලවතුගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.