ඒකාබද්ධ කාලසටහන් ප්‍රමාදය ගැන ලංගමට චෝදනා

ඒකාබද්ධ කාලසටහන් ප්‍රමාදය ගැන ලංගමට චෝදනා

December 8, 2016   02:10 pm



ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රමාද වන්නේ ලංකා ගමනාගමන මණ්ඩලයේ සහයෝගය නොමැති කමින් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එම කොමිසමේ සභාපති එම්.ඒ.ජේ හේමචන්ද්‍ර මහතා පවසන්නේ ඒකාබද්ධ කාලසටහන් සකස් කිරීමට අවශ්‍ය තොරතුරු ලංකා ගමනාගමන මණ්ඩලය  විසින් මෙතෙක් ලබාදී නොමැති බවයි.

ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ලංකා ගමනාගමන මණ්ඩලයේ පහල මට්ටමේ සේවකයන් තුළ විරෝධයක් පැවතීම හේතුවෙන් මෙලෙස ලංකා ගමනාගමන මණ්ඩලය  කාලසටහන් සඳහා අවශ්‍ය තොරතුරු ලබාදීම මගහැර සිටින බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා පෙන්වාදෙයි.

අද දෙරණ මේ පිළිබඳ ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන නියෝජ්‍ය  සාමාන්‍යාධිකාරී රාජා ගුණතිලක මහතාගෙන් විමසීමක් කළේය.

කෙසේවෙතත් ඔහු කියා සිටියේ මේ වන විටත් ඒකාබද්ධ කාලසටහන් සඳහා අවශ්‍ය තොරතුරු ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත ලබාදී ඇති බවයි.