ඇප හා දඬුවම් ලබාදීම සම්බන්ධ නීති සංශෝධනය කරනවා

ඇප හා දඬුවම් ලබාදීම සම්බන්ධ නීති සංශෝධනය කරනවා

December 5, 2016   10:02 pm




ඇප හා දඬුවම් ලබාදීම සම්බන්ධයෙන් වූ පවතින නීති සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව අධිකරණ හා බුද්ධ ශාසන  අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කියයි.
 
අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
 
එක් එක් අධිකරණයන් විසින් මෙන් ම එක් අධිකරණයක් තුළින් යම් යම් අවස්ථාවලදී එකම වරදට ලබාදෙන දඬුවම් මෙන්ම ඇප ලබාදීමේ දී යම් යම් වෙනස්කම් දක්නට ලැබෙන බවත් ඒ පවතින නීති රාමුව අනුව බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා ඒ හරහා සිදුවන අපහසුතා මඟහැරීමේ අරමුණින් මෙම සංශෝධන සිදු කරන බවත් හෙතෙම කීවේය.
 
ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී නඩු 100ට ආසන්න ප්‍රමාණයක් තිබුණු බවත්, ඒ සඳහා වෙනමම අධිකරණයක් පිහිටුවීම හරහා එම නඩුවලින් 40%ක් පමණ ප්‍රමාණයක් අවසන් කොට ඇති බවත්, බරපතළ සිද්ධීන්වලට අදාළ නඩු මේ වන විට ඉතිරිවී ඇති බවත්, මෙහිදී අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.
 
එමෙන් ම යම් නඩුවක් සම්බන්ධයෙන් සාක්ෂි නොමැතිවීම, සාක්ෂිකරුවන් මරණයට පත්වීම, ඔවුන් සොයාගැනීමට ඇති අපහසුව වැනි හේතූන්වලදී යම් නඩුවක් ඉල්ලා අස්කරගන්නා බවත්, පෙන්වා දුන් අමාත්‍යවරයා ත්‍රස්තවාදී නඩුවකට සාක්ෂි එකතුකිරීම ඉතා අමාරු ක්‍රියාවක් බවත්, පැවසීය.
 
එක්තරා වෙබ් අඩවියක මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්න කෙරුණි. අධිකරණයට අපහාස කිරීම, අධිකරණමය කටයුතු සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත් කිරීම මෙන් ම එම වෙබ් අඩවිය විසින් භාවිතා කරනු ලබන භාෂාව හේතුවෙන් අධිකරණය විසින් ම එසේ ඉන්ටර්පෝල් වරෙන්තුවක් නිකුත් කිරීමට කටයුතු කළ බවද හෙතෙම කීවේය.