අර්ජුනට දයාසිරිගෙන් පිළිතුරක්

අර්ජුනට දයාසිරිගෙන් පිළිතුරක්

December 5, 2016   09:58 pm





ක්‍රීඩා අමාත්‍යාංශයේ වැය ශිර්ෂ අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණි.

ක්‍රීඩා අමාත්‍යංශ වැය ශිර්ෂ විවාදය ආරම්භ කරමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී  බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ රාජ්‍ය අංශයේ ආයතන සහ දෙපාර්තමේන්තු තුළින් ක්‍රීඩාව සඳහා මුදලක් යෙදවීමටත්, ක්‍රීඩකයින් බඳවා ගැනීමටත්  කටයුතු කළ යුතු බවයි.

එහිදී විවාදයට එක් වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා නිලධාරීවාදය සහ ක්‍රීඩා මාෆියාව නිසා ක්‍රීඩාව දියුණු කිරීම ඉතා අපහසු බව කියා සිටියේය.

වත්මන් ක්‍රීඩාව ගැන සැකසූ ලේඛනයක්ද  වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එහිදී සභාගත කළ අතර එම ලේඛනයේ වැඩිදුරටත් දැක්වුණේ මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රැකියා සඳහා නුසුදුස්සන් පත් කරමින් සිටින බවයි.

එමෙන්ම ක‍්‍රිකට් ක‍්‍රීඩාවට නුසුදුසු පුද්ගලයින් පැමිණීම හේතුවෙන් මේ වන විට අර්බුද රැසක් ඇති වී ඇති බවත්,  පසුගිය නිලවරණයේදී තමන්ට උදව් කළ අයට රැකියා ලබා දීමේ වැඩපිළිවෙළක් අද ක‍්‍රිකට් ආයතනයේ පරිපාලනය ක්‍රියාත්මක කරමින් සිටින බවත් ඒ මහතා කියා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අදහස් පළ කළ අතර ඒ මහතා කියා සිටියේ යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් ක්‍රිකට් සභාපතිවරයා පිළිතුරු ලබා දීම සුදුසු බවයි.

එහිදී පිළිතුරු ලබා දුන් ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ අනුදැනුම හා එකඟත්වය යටතේ නව ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රිකට් ඒඩ් ආයතනය ආරම්භ කර ඇති බවත්, ඊට වැඩි ඉල්ලුමක් ඇති බවත්ය.

මේ අවස්ථාවේ අනුර කුමාර දිසානායක මහතාද විවාදයට එක් වූ අතර උණුසුම් තත්ත්වයක්ද හට ගත්තේය.
 
එනම්, අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ ප්‍රශ්නවලට පිළිතුරු ඒ අවස්ථාවේදීම ලබා දිය යුතු බව පැවසූ දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ නැතිනම් අර්ජුන රණතුංග අමාත්‍යවරයා විසින් එම කරුණු කාරණා පාර දිගේ කියවා කියවා යන බවයි.

එමෙන්ම පාර්ලිමේන්තුව තුළදී අසන පැනයන්ට හා ඊට පිළිතුරු ලබාදීම් වලට අර්ජුන රණතුංග අමාත්‍යවරයා එකඟ වුවද පසුව නැවතත් එයට එකඟ නොවී සේව්ද ස්පෝට් නමින් ක්‍රීඩා අමාත්‍යංශයේ වැරදි විවේචනය කරමින් යන බව ඒ මහතා කියා සිටියේය.

තමා ප්‍රතිපත්තියක් ලෙස අන් අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ විවේචනය නොකරන බවත්, එසේ වුවද තමාද ඉදිරියේදී සේව්ද පෝට් නමින් වරාය අමාත්‍යංශයේ වැරදි අඩුපාඩු විවේචනය කරමින් යාමට පටන් ගන්නා බවද දයාසිරි ජයසේකර  මහතා වැඩිදුරටත් කියා සිට්යේය.