නිලමෙට තිබෙන චෝදනා මෙන්න - දූෂණ විරෝධී පෙරමුණ
December 5, 2016 05:23 pm
යහපාලනය විසින් රාජපක්ෂ පවුලේ ඥාතීන් රකින බවත්, ඊට හොඳම උදාහරණය ‘නිලමේ‘ හෙවත් දිශාන් ගුණසේකර නැමැත්තාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම බවත්, දූෂණ විරෝධී පෙරමුණ අවධාරණය කරයි.
එම පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා අද (05) රාජගිරියේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී මේ බව අනාවරණය කළේය.
රුපියල් ලක්ෂ 55ක වාහන කුලියට ගැනීම, සේවකයින් 39ක් වෙනත් රාජකාරි කටයුතු සඳහා යෙදවීම, ඉදි නොකළ කම්හලක් වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීම ඇතුළු චෝදනා ගණනාවකට එරෙහිව ඔහු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත්, එසේ තිබියදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට බලපෑම් එල්ලවීම තුළ යහපාලන රජය එළිපිටම හොරු රකින බව හෙළිවී ඇති බවත්, කීර්ති තෙන්නකෝන් මහතා කීවේය.
‘නිලමේ‘ හෙවත් දිශාන් ගුණසේකර 2010 සිට 2015 ජනවාරි 8 දක්වා ලංකා මිනරල් සෑන්ඩ් හි සභාපති හා ක්‍රියාකාරී අධ්යක්ෂ ධූරයන් හි කටයුතු කළා. ඔහුට එරෙහිව මේ වන විට සිදුවන විමර්ශන ගණනාවක් සිදු වෙනවා. ලංකා බැංකුව මගින් රු. මිලියන 500 ක ණයක් ලබා ගෙන මිනරල් සෑන්ඩ් සමාගම සදහා කර්මාන්ත ශාලාවක් ඉදිකරන බව පවසා භාණ්ඩ ආනයනය කළා. කවදාවත් අලුත් කර්මාන්ත ශාලාවක් හදලා නෑ. දැන් මෙම භාණ්ඩ දිරායනවා. 2015 ජනවාරි 6 දින මැතිවරණය දින දෙකකට පෙර මෙම ණය මුදල පියවා සභාපතිවරයා ගෙදර යනවා.
මිනරල් සෑන්ඩ් සමාගම සතු රුපියල් මිලියන 40 හම්බන්තොට බීච් පාක් එකක් සෑදීම ලබා දුන්නා. මුලින් මිලියන 30 ක් පසුව තවත් මිලියන 10 ක්. මුදල් ගත්තේ නාගරික සංවර්ධන අධිකාරියට. මුදල් ඉල්ලුවේ නාමල් රාජපක්ෂ මහතා යි. හදපු බීච් පාක් එකක් නෑ. මුදල්වලට වෙච්ච දෙයකුත් නෑ. මේ ගැන දැන්ත් දැන් පොලිස් පරීක්ෂණ තියෙනවා.ලංකා මිනරල් සෑන්ඩ් සමාගමේ දුෂණ එතැනින් අවසන් නෑ.
ජනාධිපති කාර්යාලයේ පරිහරණයට අවශ්‍ය බව පවසමින් පුද්ගලික වාහන දෙකක් කුළී පදනම මත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට ලබා ගෙන තියෙනවා. ජනාධිපති කාර්යාලයේ ‘අමිල‘ නම් පුද්ගලයෙකු මාසිකව රු. 140,000 ක චෙක්පත අරගෙන ගිහින් තියෙන්නේ. මේ ව්‍යාජ සේවා ගිවිසුමෙන් රජයට සිදු කොට ඇති පාඩුව රු. පනස් ලක්ෂ අනු හතර දහස් හයසීයයි. (මිලියන 5.5 යි). ලේඛණ වල දැක්වෙන්නේ පීඩී 2199 (2012 මාර්තු 29 සිට 2014 දෙසැම්බර් දක්වා) , කේබී 5303 (2011.04.26 සිට 2014 ජූලි දක්වා) ලබාගත් බවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළා.
මොහුට වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී නෑ කියලා චෝදනාවක් තිබුණා. මිනරල් සේවකයෝ 39 ක් ප්‍රධාන කාර්යාලයෙන් පිටත දේවාලයක කටයුතු සදහා යොදවා ඇති බවට සැබවින්ම ඔවුන් කර ඇත්තේ 2015 ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්ෂ මහතා ගේ මැතිවරණ ප්රචාරක කටයුතුයි. නීතිඥ එස්.කේ. ලියනගේ එක් පුද්ගල විනිශ්චය සභාව මේ ගැන පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිළි කරන්න උපදෙස් දුන්නා. දැන් ඒ විමර්ශන සිදු වෙනකොට තමයි මේ බලපෑම් එල්ල වෙන්නේ. ආණ්ඩුව පැහැදිලිවම මහා පරිමාණ හොරු රකින තැනකට ගිහින් තියෙනවා. මේ සිදුවීමෙන් පෙනෙන්නේ ඒ බවයි. දැන් හොරු රකින්නේ කවුද කියා හොදටම පැහැදිලියි "
මෙම අවස්ථාවට පුජ්‍ය උලපනේ සුමංගල, හා පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ හා චමීර පෙරේරා යන අය ද සහභාගීවුහ.