පූජිත අමාරුවේ වැටිලා ඉන්නේ

පූජිත අමාරුවේ වැටිලා ඉන්නේ

December 5, 2016   05:13 pm





රටේ වත්මන් තත්ත්වය පිළිබඳව දේශපාලඥයින් කිහිප දෙනෙක් අද (05) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළකරන ලදී.

මේ එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ රාජා කොල්ලුරේ මහතා මෙසේ පැවසීය.


“පූජිත ජයසුන්දර ප්‍රසන්න පුද්ගලයෙක්. ඔහු අමාරුවේ වැටිලා තියෙන්නේ දේශපාලඥයින්ගෙ වුවමනාවට වැඩ කරන්න ගිහිල්ලා.  නීතිය නමන්න නිලධාරීන් නැමෙන්න සුදුසු නෑ කියලා අපි අවධාරණය කරනවා.  මේ සිද්ධිය ගැන ජනපති ක්‍රියාමාර්ගයක් ගන්න යනවා. ඒත් අගමැතිතුමා පොලිස්පතිතුමාව සුද්ද කරන්න යනවා. මේක සුදුසු නැති දෙයක්.“

මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළ හිටපු අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“පළාත් පාලන මන්ත්‍රීවරු ‍ඔවුන්ගේ මන්ත්‍රීකම ඉල්ලගෙන ආවේ නෑ.  ඔවුන් ආවේ ජනතාවගේ ප්‍රජන්ත්‍රවාදී හිමිකම් රැකදෙන්න කියලා ඉල්ලන්න. කිසිම ලැජ්ජාවක් නැතුව ඔවුන්ට පහර දුන්නා. එම ස්ථානයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් ප්‍රහාරයට මුහුණ දුන්නා. මේකද යහපාලනය කියන්නෙ. ආණ්ඩුවට විරුද්ධ අදහස් ප්‍රකාශ කරන දේශපාලඥයන්ට විතරක් නොවෙයි සාමාන්‍ය ජනතාවට පවා මර්දනකාරී විදිහට ආණ්ඩුව කටයුතු කරනවා. මෙම තත්ත්වය මිනිස්සු තවත් ප්‍රකෝප කිරීමක්. “

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පා.ම වාසුදේව නානායක්කාර මහතා මෙසේ පැවසීය.

“පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්ට එන්න තියෙන ප්‍රධාන පාර කථානායකතුමාගේ අවසර නැතිව වහන්න පුළුවන්ද. පොලීසියට කවුද ඒ බලය දෙන්නෙ. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ කථානායකට තියෙන බලය එතුමා පොලීසියට පාවා දීලා තියෙනවා කියන එක. මේක භයානක තත්ත්වයක්. ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්. “