සාමාන්‍ය පෙළ විභාගය හෙට ඇරඹෙයි

සාමාන්‍ය පෙළ විභාගය හෙට ඇරඹෙයි

December 5, 2016   05:04 pm



අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භ වෙයි.

සිසුන් 7 ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් මෙවර විභාගය සඳහා අයදුම් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යස්ථාන 5669 කදී ලබන 17 වනදා දක්වා විභාගය පැවැත්වෙන බවයි.

විභාගය සඳහා 65,000ක පමණ කාර්යය මණ්ඩලයක් යොදවා තිබේ.

විභාගය දිනපතා පෙරවරු 08.30ටආරම්භ වීමට නියමිත අතර අයදුම්කරුවන් පෙරවරු 08.00ට පෙර විභාග ශාලාව වෙත පැමිණිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග ප්‍රවේශ පත්‍රය, ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය විභාගය සඳහා ඉදිරිපත් කිරිම අනිවාර්ය කර තිබේ.

ප්‍රවේශ පත්‍රයේ විෂයන්, මාධ්‍ය, විෂය  නිර්දේශය ඇතුළු කරුණු පිළිබඳ ගැටළු පවතී නම් විභාගයට පැමිණීමට පෙර විභාග දෙපාර්තමේන්තුවේ දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

ඒ අනුව 011 2 784 208, 011 2 784 537, 011 3 188 350 සහ 011 3 140 314 යන අංක වෙත හෝ 1911 ක්ෂණික ඇමතුම් අංකය වෙත තොරතුරු දැනුම් දීම සහ තොරතුරු ලබාගත හැකිය.

එම දුරකථන අංක පැය 24 පුරා ක්‍රියාත්මකය.

විභාගය පැවැත්වෙන අවස්ථාවේදී ජංගම දුරකථන, සටහන් යනාදිය ළඟ තබා ගැනීම, උපකාර ලබාදීම,  පිළිතුරු කොපි කිරීම වැනි විභාග වැරදි සිදු කරන්නගේ ප්‍රතිඵල අවලංගු කිරීමටත් ඉදිරි විභාග සඳහා පෙනී සිටීම තහනම් කිරීමටත් පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.