බ්‍රවුන්රිග්ගේ ගැසට් නිවේදනය මෛත්‍රී ලවා අවලංගු කරනවා

බ්‍රවුන්රිග්ගේ ගැසට් නිවේදනය මෛත්‍රී ලවා අවලංගු කරනවා

December 5, 2016   03:12 pm



1818 උඩරට කැරැල්ල මෙහෙය වූ කැප්පෙටිපොල අධිකාරිම් ඇතුළු උඩරට නායකයින් රාජ්‍ය ද්‍රෝහීන් ලෙස සලකා එවකට ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රය අවලංගු කිරීමට නිර්දේශ ඉදිරිපත් කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

ජනාධිපතිවරයා වෙත අදාළ නිර්දේශ ඉදිරිපත් කර ඇති බව එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

1815 කන්ද උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමග ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත්වීමෙන් පසුව ඉංග්‍රිසීන්ට එරෙහිව උඩරට සිංහල නායකයින් 1818 කැරැල්ල මෙහෙයවනු ලැබුවේය.

කෙසේ වෙතත් අධිකරණ අමාත්‍යංශය පෙන්වාදෙන්නේ එම ජාතික සටනට සම්බන්ධ ප්‍රධාන නායකයින්  එවකට ආණ්ඩුකාරවරයා විසින් රාජ්‍ය ‍ද්‍රෝහින් ලෙස සලකා කටයුතු කර ඇති බවයි.

ඒ අනුව රාජ්‍ය ද්‍රෝහින් ලෙස කැප්පෙටිපොල මහාධිකාරම් ඇතුළු සිංහල නායකයින් 19 දෙනෙකුගේ නම් 1818 ජනවාරි 10 වනදා අංක 851 දරණ ලංකා ගැසට් පත්‍රයේ පළ කර ඇති බව අධිකරණ අමාත්‍යංශය පවසයි.

අදාළ ගැසට් පත්‍රය නිකුත් කර වසර 200ට ආසන්න කාලයක් ගතවන අතර එම ගැසට් පත්‍රය අවලංගු කර අදාළ ජාතික නායකයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට බ්‍රිතාන්‍ය පාලනය යටතේ සිදු වූ පීඩාවන්ට සාධාරණය ඉටු කරන ලෙස අධිකරණ අමාත්‍යවරයා ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇත.

උඩරට කැරැල්ලට සම්බන්ධ කැප්පෙටිපොල මහාදිකාරම් ඇතුළු අනෙකුත් නායකයින්ගේ පවුල්වලට සම්බන්ධ යම් තොරතුරක් හෝ එම පරපුරවලින් පැවත එන ඥාතීන් හෝ ඇත්නම් ඒ පිළිබඳ තොරතුරු අධිකරණ අමාත්‍යංශය වෙත ලබා දෙන ලෙසද එම අමාත්‍යංශය ඉල්ලීමක්  කරයි.