ප්‍රභූ වාහන පරීක්ෂා කරන්න-ජනපතිගෙන් උපදෙස්

ප්‍රභූ වාහන පරීක්ෂා කරන්න-ජනපතිගෙන් උපදෙස්

December 1, 2016   12:25 pm



ප්‍රධාන ලාම්පු දල්වාගෙන ගමන් කරන ප්‍රභූ වාහන පරීක්ෂාවට ලක් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලීසියට උපදෙස් දී තිබේ.

ජාතික මාර්ග ආරක්ෂණ සතිය ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

දැන් ප්‍රභාකරන් කෙනෙකු හෝ ත්‍රස්තවාදී ප්‍රශ්නයක් රටේ නොමැති බැවින් රථ වාහන  හත අටක් පිරිවරාගෙන ගමන් යාමේ අවශ්‍යතාවක් නොමැති බව තමන් පසුගිය කැබිනට් රැස්වීමේදී පෙන්වා දුන් බව ජනාධිපතිවරයා සිහිපත් කළේය.

එහිදී තමාට එක ආරක්ෂක රථයක් පිටුපසින් ධාවනය වුවහොත් ප්‍රමාණවත් බවට කැබිනට් අමාත්‍යවරුන්ද එකඟ වූ බව ජනාධිපතිවරයා කියා සිටියේ "ජාතික මාර්ග ආරක්ෂණ සතිය" ආරම්භ කිරීම නිමිත්තෙන් අද(01)කොළඹ නිදහස් චතුරශ්‍රයේදීය.

වාහන හත අටක් පිරිවරාගෙන පාරේ ගමන් කරන ප්‍රභූ වාහනවලට වේග සීමාවක් හෝ වම දකුණක් හෝ අදාළ නොවන බවත්,ඒ නිසාම ඒ පිළිබඳ සොයාබලා වාර්තා කරන ලෙස තමන් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදුන්නු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මේ අයුරින් වාහන ගණනාවක් ගමන් කරනවිට පිටුපස වාහනවල චොප්පෙ යනවද,වෙලේ සුදා යනවද,ආමි විමලෙ යනවද කියා කවුරුත් නොදන්නා බවත්,අපරාධකාරයින්ද මෙලෙස ආරක්ෂා සහිතව ගමන් කළ හැකිව පවත්නා බවත්, ඒ නිසාම ඒ පිළිබඳ සොයා බැලීම කළ යුතු බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

තමාට එවැන්නන් සම්බන්ධයෙන් පොලිස් වාර්තා ලැබුණු පසු ඔවුන් කැඳවා ඔවුන්ට වැළඳී ඇති රෝගය කුමක්දැයි විමසා බලන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.